December 5, 2024

සුරාබදු බලපත්‍ර ලබාදීමේ දී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ, සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ අද (05) ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීය.

නිලධාරීන් තම බලය භාවිත කරමින් නීතියට පටහැනිව කටයුතු නොකළ යුතු බවත්, සෑම විටම නීතිය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවත් අවධාරණය කර ඇති ජනාධිපතිවරයා, නිසි වේලාවට බදු අයකර ගැනීමට පියවර ගන්නා ලෙස ද නිලධාරින්ට උපදෙස් දී තිබේ.

සුරාබදු අයකර ගැනීමේ අපහසුතා සහ එහිදී සිදුවන අක්‍රමිකතා පිළිබඳ මෙහිදී අවධානය යොමුකර ඇති අතර, අයවිය යුතු බදු ප්‍රමාණය අයකර ගැනීම, අසාදුගත ආයතන මෙන්ම බදු අයකර ගත නොහැකි ආයතනවල බලපත්‍ර තහනම් කිරිම වැනි නව ක්‍රමවේද පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කර ඇත.

එසේම බදු අයකර ගැනීමේ දී පවතින නීති රීති ප්‍රමාණවත් නොවීම පිළිබඳව ද සාකච්ඡාවට ලක්ව ඇති අතර, බදු අයකර ගැනීමේදී මතුව ඇති ගැටලු සහ සුරාබදු නිලධාරීන් බදවා ගැනීමේ ක්‍රමවේදයේ පවතින දුර්වලතා පිළිබඳවද ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ජනතාව තුළ යහපත් ආකල්පයක් නොමැති බව මෙහිදී පෙන්වාදී ඇති ජනාධිපති අනුර කුමාර දිසානායක, රටේ ආර්ථිකයට හිතකර ලෙස එම ආයතන පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවද අවධාරණය කර ඇත.

එසේම නිෂ්පාදන සහ ඇසුරුම් ක්‍රියාවලියෙහි මතුව ඇති ගැටලු පිළිබඳව නිලධාරීන් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති අතර, කෘත්‍රීම රා හේතුවෙන් ජනතාවට සිදුවන හානිය සම්බන්ධව ද අවධානය යොමුකර තිබේ.

සුරාබදු කොමසාරිස් රෝහණ සේනාරත්න, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ආර්. වී. එස්. තිස්ස කුමාර, සහකාර සුරාබදු කොමසාරිස් එම්. ජේ. ද සිල්වා, ප්‍රධාන මූල්‍ය නිලධාරී ජී. ඒ. චාන්දනී, ප්‍රධාන ගණකාධිකාරී ඩබ්. ආර්. පරණගම යන පිරිස ඇතුළු සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව ඇත.

42.31%
17.27%
32.76%