December 2, 2024

නිසි පාලනයක් නොමැති ලීග් තරගාවලි ක්‍රිකට් ක්‍රීඩාවේ තරග පාවාදීමේ සිදුවීම් සහ දූෂණ ක්‍රියා සඳහා තෝතැන්නක් වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ නිසා ක්‍රිකට් ක්‍රීඩාවට ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවයි.

ශ්‍රී ලංකා නීති විද්‍යාල අන්තර්ජාතික පර්යේෂණ සමුළුවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ පසුගියදා එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙම සැසිය පැවැත්වුණේ අන්තර්ජාතික ක්‍රිකට් කමිටුවේ දූෂණ විරෝධී ඒකකයේ ස්වාධීන සභාපති ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනගේ ප්‍රධානත්වයෙනි.

IPL තරගාවලියේ ආගමනය සහ ෆ්‍රැන්චයිස් ලීග් තරගාවලි මගින් ක්‍රීඩකයන්ට ඇදහිය නොහැකි තරමේ අවස්ථාවන් ලැබී ඇති බව කුමාර් සංගක්කාර එහිදී පෙන්වා දුන්නේය.

එසේම එය ක්‍රීඩාවට මේ වන විට අභියෝගයක් ද වෙමින් පවතින බව ද සංගක්කාර සඳහන් කළේය.

“අපි පරිස්සම් නොවුණොත් ක්‍රීඩකයන් ඔවුන්ගේ රටේ ක්‍රිකට් පාලක මණ්ඩල සමග ගිවිසුම්ගත නොවී වෙනත් බලයලත් ආයතන එක්ක ගිවිසුම් ගහන්න පටන් ගනී. එතකොට ක්‍රීඩා ලෝලීන්ට සිද්ධ වෙන්නේ තමන්ගේ රටේ හොඳම ක්‍රීඩකයන් රට නියෝජනය කරනවා වෙනුවට වෙනත් ආයතන වෙනුවෙන් ක්‍රීඩා කරනවා බලන්නයි, එම තත්ත්වය තියෙන්නේ වැඩි ඈතක නෙවෙයි” යනුවෙන් සංගක්කාර ප්‍රකාශ කළේය.

සංගක්කාර එහිදී අනතුරු ඇඟවූයේ මෙම තත්ත්වය රටක ජාතික අභිමානය අනතුරට පත්කර ක්‍රීඩකයන් මූල්‍ය වාසි දෙසට දැඩි ලෙස නැඹුරුවීමේ අවදානමක් ඇති බවයි.

ඕනෑම ෆ්‍රැන්චයිස් ලීග් තරගාවලියකම දූෂණය සඳහා අවස්ථා ඇති බව සංගක්කාරගේ මතයයි.

1990 දශකයේ අගභාගයේ සහ 2000 දශකයේ මුල් භාගයේ තරග පාවාදීම් ගැන සංගක්කාර සිහිපත් කළේ හැන්සි ක්‍රොන්යේ සහ මොහොමඩ් අසාරුදීන් වැනි ඉහළ පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන ද සඳහන් කරමිනි.

ක්‍රීඩාව සම්බන්ධ දූෂණ ක්‍රියා අපරාධයක් බවට පත් කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති ප්‍රගතිශීලී පියවර සංගක්කාර පැසසුමට ලක් කළේ එය මෙම ගැටලුව විසඳීමේ තීරණාත්මක පියවරක් බව පෙන්වා දෙමිනි.

කෙසේවෙතත්, නීතියෙන් පමණක් මෙය විසඳිය නොහැකි බව ඔහු අවධාරණය කළේය.

ක්‍රීඩකයන් දැනුවත් කිරීම, දූෂිත ක්‍රියාවන් හඳුනා ගැනීම පිළිබඳ ඔවුන් දැනුවත් කිරීම සහ වාර්තා කිරීමේ යාන්ත්‍රණයන් කෙරෙහි විශ්වාසය ගොඩනැගීම සඳහා වැඩි ප්‍රයත්නයක් දැරිය යුතු බව ඔහු පෙන්වා දුන්නේය.

උදාහරණයක් ලෙස ඔහු පෙන්වා දුන්නේ දූෂණ විරෝධී නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන් වසර හයක තරග තහනමකට ලක්ව සිටි ශ්‍රී ලංකාවේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක නුවන් සොයිසා, පසුව අන්තර්ජාතික ක්‍රිකට් දූෂණ විරෝධී කමිටුව සමඟ අත්වැල් බැඳ ගනිමින් එය තම ජීවිතයට සහ තම පවුලේ යට ඇති කළ බලපෑම පිළිබඳ ක්‍රීඩකයන් දැනුවත් කිරීම සඳහා දායක වී ඇති බවයි.

සංගක්කාරගේ අදහස වන්නේ දූෂණයට එරෙහි සටන යනු වැරදිකරුවන්ට දඬුවම් කිරීම පමණක් නොව එය අප කවුරුත් ආදරය කරන ක්‍රීඩාවේ පරිශුද්ධභාවය ආරක්ෂා කිරීමේ සටනක් බවයි.

42.31%
17.27%
32.76%