December 1, 2024

අබුඩාබි T10 තරගවලියේ දී අසාමාන්‍ය ලෙස ‘නෝබෝල්’ පන්දු යැවීම නිසා තරග පාවාදීම් පිළිබඳ කතාබහක් මතුව තිබේ.

සැකකටයුතු නෝබෝල් මාලාව නිසා කණ්ඩායම් 10කින් සමන්විත මෙම තරගාවලියේ කිසියම් වරදක් සිදුවී ඇත්දැයි සොයා බැලීම සඳහා ICC හි දූෂණ විරෝධී ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.

මොරිස්විල් සැම්ප් ආමි කණ්ඩායමට ක්‍රීඩා කරන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩක හස්රත් බිලාල් නොවැම්බර් 22 වැනිදා රාත්‍රියේ අසාමාන්‍ය ලෙස ක්‍රීස් එක ඉක්මවා යමින් පන්දුව යොමු කර තිබිණි.

එහි පුනරූපනය පෙන්වීමට කැමරා රාමුව සකස් කිරීමට සිදුව තිබිණි.

එහිදී ෆෆ් ඩු ප්ලෙසිස් ඇතුළු ඔහුගේ සගයන් පුනරූපනයට සිනාසෙනු දක්නට ලැබුණු අතර රීස් ටොප්ලි ද කටකොනින් සිනහසෙමින් සිටිනු නිරීක්ෂණය විය.

ඉන් දින හතරකට පසුව, ශ්‍රී ලංකා හිටපු නායක දසුන් ශානක, දිල්ලි බුල්ස් සහ බංග්ලා ටයිගර්ස් අතර තරගයකදී ඔහුගේ පළමු පන්දු තුනේදී නෝබෝල් ඇතුළුව ලකුණු 30ක් ලබා දීමත් සමඟ එය කාගේත් අවධානයට ලක්විය.

ඇතැම් වෙබ් අඩවි වාර්තා කර තිබුණේ දසුන් ශානක දැනට පැවැත්වෙන අබුඩාබි T10 ලීගයේ දී තරඟ පාවා දීමේ චෝදනාවලට ලක්ව ඇති බවයි.

මෙම සිදුවීම්වලින් පසුව තරග පාවාදීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් ඇති වී තිබේ.

ආදාළ තරගයේදී ශානක විසින් දිල්ලි බුල්ස් ඉනිමේ අවසන් ඕවරය යැවූ අතර, ඔවුන් ලකුණු 72/6ක් ලෙසින් සිටියදී ෂඩාබ් ඛාන් පන්දු 9කදී ලබා සිටියේ ලකුණු 9කි.

ශානකගේ පළමු පන්දුව ඉහළ ෆුල් ටොස් එකක් වූ අතර එය නිඛිල් චෞද්‍රි විසින් ඩීප් ස්ක්වෙයාර් ලෙග් සීමාවට හතරේ පහරක් සඳහා යොමු කළේය.

අනතුරුව ශානක පිට පිටම නෝබෝල් දෙකක් යැවූ අතර ඒ දෙකම හතරේ පහරවල්වලට හසුවිය.

දෙවැනි නෝබෝලයෙන් ලැබුණු නිදහස් පහර මගින් චෞද්‍රි හතරේ පහරක් එල්ල කළේය.

ශානකගේ නොසැළකිලිමත් පන්දු යැවීම දිගටම පැවති අතර ඔහුගේ තවත් පන්දුවකට චෞද්‍රි ලෝන්ග් ලෙග්හි පන්දු රකින්නාට උඩින් හයේ පහරක් එල්ල කළේය.

ඉන්පසුව ශානක තවත් නෝබෝල් දෙකක් යැවූ අතර, චෞද්රි පළමු පන්දුවට තනි ලකුණක් සහ දෙවැනි පන්දුවට හතරේ පහරක් එල්ල කළේය.

ශානකගේ එම ඕවරයේදී පළමු පන්දු තුනෙන් ලකුණු 30ක් ලබා දුන්නේය.

අවසන් පන්දු තුන ලකුණු තුනකට සීමා වුවද ඒ වන විටත් හානිය සිදුවී තිබිණි.

අබුඩාබි T10 ලීගයට වසර තුනකට පෙර ද දූෂණ වංචාවක් එල්ලවීමේ ආන්දෝලනාත්මක ඉතිහාසයක් ඇත.

2021 දී, පූනේ ඩෙවිල්ස් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු අෂාර් සයිඩි සහ කණ්ඩායම් හිමිකරුවන් වන පරාග් සංගාවි සහ ක්‍රිෂාන් කුමාර් චෞද්රි දූෂණයට වැරදිකරුවන් වීම නිසා ICC විසින් තහනම් කරන ලදී.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ මස අගදී සිය T10 ලීගය පැවැත්වීමට නියමිතය.

 

42.31%
17.27%
32.76%