November 29, 2024

හිම කුණාටුවක් සමග දකුණු කොරියාවට ඉතා අධික හිම පතනයක් පවතින බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.

අද දිනයේ අඛණ්ඩව දෙවැනි දිනටත් දකුණු කොරියාවේ දැඩි හිම පතනයක් පවතින අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගල මරණ තුනක් වාර්තා වන බව සඳහන් වේ.

හිම පතනය හමුවේ ගුවන් ගමන් සහ නෞකා සේවා අඩාළ වූ බව බලධාරීහු පවසති.

හිම ඉවත් කිරීමේදී කූඩාරම් ආකාරයේ ගරාජයක් කඩාවැටීමෙන් සෝල් අගනුවරදී එක් පුද්ගලයකු මියගොස් තිබේ.

සෝල් අගනුවර අවට Gyeonggi පළාතේ අධික හිම පතනය නිසා මරණ තුනක් සිදුව ඇතැයි සඳහන් වේ.

අයහපත් කාලගුණය මධ්‍යයේ ගොල්ෆ් ක්‍රීඩා පුහුණු දැලක් කඩාවැටී තවත් අයකු මියගොස් ඇත.

අධික හිම පතනය හේතුවෙන් ගුවන් ගමන් 156 ක් අවලංගු කර ඇති අතර නෞකා ගමන් 104ක් අඩාළ වී ඇති බව දකුණු කොරියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.

රටේ කාලගුණ ඒජන්සියට අනුව, බදාදා සෝල්හි අධිකම පතනය සියවසකට පමණ පසු නොවැම්බර් මාසයේ ලැබුණු දැඩිම හිම පතනය ලෙස වාර්තා වී තිබේ.

මෙම වාර්තාගත හිම පතනය සෝල් අගනුවරට මෙම වාරයේ ලැබුණු පළමු හිම පතනය ලෙසද සනිටුහන් වේ.

අද පෙරවරු 11 වන විට අගනුවර ප්‍රදේශයේ සෙන්ටිමීටර 40 ක් දක්වා හිම එක්රැස් වී ඇති අතර, සෝල් නගරයෙන් පිටත අනෙකුත් ප්‍රදේශවල හිම පතනය සෙන්ටිමීටර 45 කට ආසන්න ප්‍රමාණයකට ළඟා වී ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.

අද දිනයේ හිම පතනය හේතුවෙන් අගනුවර හිම ඉවත් කිරීමේ මෙහෙයුම් සඳහා සහන සේවකයින් 11,000 ක් සහ උපකරණ 20,000 ක් යෙදවීමට නගර බලධාරීන්ට සිදුව තිබේ.

අගනුවර තාවකාලික විදුලිය ඇනහිටීම් 131 ක් වාර්තා වී ඇත.

42.31%
17.27%
32.76%