November 28, 2024

රිය අනතුරක් සිදුකොට පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනීනොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාගේ වරෙන්තුව ආපසු කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

සිය නීතීඥවරයා මාර්ගයෙන් මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ මෝසමකට අනුව නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා ඉදිරියේ කැඳවූ අතර, එහිදි ඔහු වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරයා කියාසිටියේ, අදාළ නඩුව කැඳවනු ලැබූ ඉකුත් 26 වනදා තම සේවාදායකයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් එහි පැවැති රැස්වීමකට සහභාගිවී සිටි බවයි.

ඒ බව තහවුරු කරන ලිපියක්ද නීතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

මෙම නඩුව වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා විදේශගතවීම නිසා, මෙම නඩුව කැඳවන දිනය සම්බන්ධයෙන් තම සේවාදායකයා තුළ ගැටලුවක් තිබූ බවත් නීතිඥවරයා සදහන් කළ අතර, ඒ අනුව සිය සේවදායකයා වෙනුවෙන් නිකුත් කර තිබෙන වරෙන්තුව ආපසු කැඳවන ලෙසත් එම නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා සැකකරු වෙනුවෙන් නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග කළ අතර, නඩුව නැවත මාර්තු මස 04 වැනිදා කැඳවන ලෙස නියෝග කළේය.

42.31%
17.27%
32.76%