November 27, 2024

වසර තුනකට අධික කාලයක් යාපනය ශික්ෂණ රෝහලේ කණිෂ්ඨ ස්වේච්ඡා සේවයෙහි යෙදෙන 300 කට අධික සේවකයන් පිරිසක් මුහුණ පා ඇති ගැටලු පිළිබඳ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සට කරුණු ඉදිරිපත් කිරීම සදහා එම සේවකයන්ගේ නියෝජිතයන් පිරිසක් ඊයේ (26) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පූර්ව දැනුම්දීමකින් තොරව පැමිණ ඇත.

පැමිණි සිටි පිරිස අමාත්‍යවරයා හමු වී සාකච්ඡා සිදුකළ අතර, එහිදී ඔවුන් පෙන්වා දෙන ලද්දේ වසර ගණනාවක සිට තමන් යාපනය ශික්ෂණ රෝහල තුළ සෞඛ්‍ය කණිෂ්ඨ කාර්ය මණ්ඩල රාජකාරී වලට අදාලව සිය ස්වේච්ඡා සේවාවන් සපයන බවයි.

සිය සේවාව ස්ථීර කිරීමට පියවර ගන්නා ලෙස ඔවුන් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.

ඉහත කරුණූ පිළිබදව අවධානය යොමුකළ සෞඛ්‍ය අමාත්‍යවරයා ඔවුන් සමඟ මුලික සාකච්ඡාවක් පවත්වා අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ සිටි අනෙකුත් ස්වේච්ඡා සේවකයන් හමුවට පැමිණ ඇති අතර, එම සේවකයින්ගේ ගැටළුව පිළිබද සිය අවධානය යොමු කර ඇත.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දකවමින් අමාත්‍යවරයා කියා සිටියේ යාපනය ශික්ෂණ රෝහල තුල ස්වේච්ඡාවෙන් සේවය කළ තරුණ තරුණයින් පිරිසක් සිය වෘත්තීය ගැටළුවකට විසදුම් බලාපොරොත්තුවෙන් තමා හමුවී සාකච්ඡා කිරීමට යාපනයේ සිට කොළඹට පැමිණි සිටි බවත්, එම පිරිස සමඟ තමා ඉතා දීර්ඝ ලෙස සාකච්ජා කළ බවත්ය.

වසර 03 කට වඩා වැඩි කාලයක් මෙම පිරිස යාපනය ශික්ෂණ රෝහල තුල ස්වේච්ඡා සේවය සිදුකර තිබෙන බව සහ විශේෂයෙන්ම මෙම පිරිසේ සහයෝගය ඇතිව රෝහල් සේවා පවත්වාගෙන යන බව මෙහිදී අනාවරණය වු බවත්, අමාත්‍යවරයා මෙහිදී සදහන් කරන ලදී.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වත්සලා ප්‍රියදර්ශනී සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුලු නිලධාරීන් සමග මෙම ගැටළුව පිළිබදව තමා සාකච්ඡා කළ බවත්, මෙම පිරිසට සාධාරණයක් ඉටුකරදීමට ඇති හැකියාව පිළිබදව තමා කඩිනමින් සොයා බලන බවද, හෙතෙම වැඩිදුරටත් පැවසීය.

42.31%
17.27%
32.76%