November 26, 2024

නිෂ්පාදිත දිනය හා ඊට අදාළ තොරතුරු වෙනස්කර ආනයනික සහල් තොගයක් වෙළඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබියදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් විසින් ඊයේ (25) දින වැටළීමක් සිදුකර ඇත.

එහිදී ඉන්දියාවේ නිෂ්පාදිත කිලෝ 25 ඇසුරුම්වල අසුරා ඇති එම සහල් ඇසුරුම්වල නිෂ්පාදකයා විසින් සඳහන් කර තිබූ නිෂ්පාදිත දිනය 2022 ජනවාරි ලෙස සටහන්ව ඇති අතර, නිෂ්පාදිත දිනයේ සිට වසරක් තුළ භාවිත කිරීම කළයුතු බව ඉන්දියානු නිෂ්පාදකයා සඳහන් කර තිබේ.

එසේ තිබියදී ලංකාවේ සහල් ආනයනය කර තිබූ ව්‍යාපාරිකයා විසින් එම අසුරනවල නිෂ්පාදිත දිනය වෙනස් කරමින් 2024 ජූනි ලෙස ඉදිරි දිනයක් යොදා වෙනත් ලේබලයක් සහිතව එම සහල් වෙළඳපොළට නිකුත් කිරීමට කටයුතු කර තිබිණ.

එමෙන්ම එම සහල් අසුරනවල මුද්‍රිතව තිබූ මිල ගණන් සහ බර ප්‍රමාණයන් ද ලේබල මගින් වෙනස් කර, කොළඔ 14 ප්‍රදේශයේ ගබඩාවක් තුළ රහසිගතව තබාගනිමින්, මෙම සහල් ඉදිරි උත්සව සමයේදී වෙළෙඳපොළට බෙදාහැරීමට සැලසුම් කොට ඇති බව අනාවරණය වී ඇත.

මෙම වැටළීමේදී නිෂ්පාදිත දිනය වෙනස්කළ සහල් සහිත 25kg ඇසුරුම් 717ක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය භාරයට ගනු ලැබ ඇති අතර චූදිතයන්ට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට නියමිතය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙම උත්සව සමය තුල, දිවයිනපුරා විශේෂ වැටලීම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කොට ඇති අතර එහිදී වෙළඳුන් විසින් සිදුකරන මෙවැනි වංචනික ක්‍රියා සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරනු ඇත.

උත්සව සමය තුළදී ආනයනකරුවන් සහ නිෂ්පාදකයන් විසින් තොරතුරු වෙනස් කරන ලද භාණ්ඩ වෙළෙඳපළට නිකුත් කිරීම වැලැක්වීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් තොග ගබඩා පරීක්ෂා කිරීම අඛණ්ඩව සිදුකරනු ලබන අතර භාණ්ඩ මිලදී ගැනීමේදී ඇසුරුමෙහි සඳහන් තොරතුරු පිළිබඳව සැළකිලිමත් වන ලෙසත්, ඇසුරුමෙහි පවතින තොරතුරු කිසියම් වෙනසකට ලක්කොට ඇතිදැයි විමසිලිමත් වන ලෙසත් එවැනි භාණ්ඩ අලෙවි කරනු ලබන වෙළෙදුන් සම්බන්ධව තොරතුරු 1977 කෙටි දුරකථන අංකයට දන්වන ලෙසත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටියි.

42.31%
17.27%
32.76%