November 26, 2024

විදේශගතව සිටින විද්වතුන් ආපසු නොපැමිණෙන බවට වාර්තා වීමත් සමඟ ඒ සම්බන්ධයෙන් දැඩි මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබේ.

එම කොමිසමේ සභාපති මහාචාර්ය කපිල සෙනෙවිරත්න පවසා ඇත්තේ විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් විදේශගත වීමට නිදහසට කරුණක් ලෙස විදේශ සංචාර අනිසි ලෙස භාවිතා කර ඇති බවයි.

ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් යම් ආකාරයක ආරාධනාවක් පෙන්වමින් විදේශගත වීමට රජයේ මුදල් භාවිත කර තිබේ.

කෙසේවෙතත්, ඉදිරියේදී විදේශගත වීමට අවශ්‍ය දැයි තක්සේරු කිරීමට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බැවින් මෙය දිගින් දිගටම සිදු නොවනු ඇති බවට ඔහු විශ්වාසය පළකර තිබේ.

ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ විද්වතුන් විදේශ සංචාර සඳහා වැටුප් සහිත කාලය ලබාගෙන නැවත මෙරටට පැමිණීම ප්‍රතික්ෂේප කරන බවට වාර්තා වීමෙන් පසුවය.

“කෙසේවෙතත්, ඔවුන් පිටත්ව යාමට සැබෑ හේතුවක් තිබේ නම්, අපි ගුවන් ගාස්තු සහ නවාතැන් සඳහා ගෙවනවා,” යනුවෙන්ද මහාචාර්ය සෙනෙවිරත්න පවසා ඇත.

මෙවැනි දැඩි ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කළද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රකාශ කරන්නේ ඇතැම් අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් ශිෂ්‍යත්ව ලබාගෙන පිටව යන අතර මෙය රජයේ මුදල් නාස්තියක් නොවන බවයි.

එබැවින් දැඩි නීතිරීතිවලින් ඵලක් නොවන බව ද එම සංගමය පවසා තිබේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ පවසා ඇත්තේ එවැනි බොහෝ විද්වතුන් ශිෂ්‍යත්ව ලබා ගොස් සිටින අතර ඔවුන් බැඳුම්කර අත්සන් කර ඇති බවයි.

“විදේශගත වන විද්වතුන් අතරින් ආපසු නොපැමිණෙන්නේ 100කටඑක් අයකු පමණක් ර මෙම හානි ඇපකරුවන් සහ ඔවුන්ගේ විශ්ව විද්‍යාල අර්ථසාධක අරමුදල මගින් ආවරණය කරනු ඇත, එබැවින් එවැනි දැඩි රෙගුලාසි අවශ්‍ය නොවේ.”

විද්වතුන් මුදල් ගෙවා විදේශගත වීමට පෙර ඇපකරුවන් දෙදෙනෙකු සහිත බැඳුම්කරයක් අත්සන් කර ඇති අතර එමගින් අදාළ පුද්ගලයා ආපසු නොපැමිණියේ නම් මුදලක් ගෙවීමට ඇපකරුවන් බැඳී ඇති බව ඉලංගසිංහ පැහැදිලි කළේය.

තවද, අහිමිවන මුදල ශාස්ත්‍රීය විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදලෙන් ඉල්ලා සිටිය හැකි බව ද ඔහු සඳහන් කරයි.

විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදල විශ්වවිද්‍යාල පනතේ 88 සහ 89 වගන්ති යටතේ ස්ථාපිත අතර එහි සඳහන් වන්නේ සාමාජිකයන් තම ඉපැයීම්වලින් 10%කින් ඊට දායක වියයුතු අතර සේවා යෝජකයන් අරමුදලට 15%ක දායකත්වයක් ලබාදෙන බවයි.

42.31%
17.27%
32.76%