November 24, 2024

පාර්ලිමේන්තුවේ සිට කිලෝමීටර 40කට වැඩි දුරින් ජීවත්වන අලුතින් තේරී පත් වූ මන්ත්‍රීවරුන්ට බෙදාහදාගැනීමේ පදනම මත මාදිවෙල මන්ත්‍රී නිල නිවාස ලබා දීමට ඉඩ ඇති බව වාර්තා වේ.

කථානායක අශෝක රන්වල ප්‍රකාශ කර ඇත්තේ මන්ත්‍රී නිල නිවාස පිරිසිදු කිරීමට මේ වනවිට උපදෙස් දී ඇති බවයි.

“මන්ත්‍රීවරුන්ට නවාතැන් දීම ගැන අපි තවම තීරණයක් ගෙන නැහැ, නමුත් මාදිවෙල නිල නිවාසය පිරිසිදු කරන්න කියලා අපි උපදෙස් දීලා තියෙනවා. ඉඩ ප්‍රශ්නයක් තිබේ නම්, මන්ත්‍රීවරුන්ට නිල නිවාස බෙදාහදාගැනීමේ පදනම මත භාවිත කළ හැකියි, ” යනුවෙන් ඔහු The Sunday Morning වෙත පවසා ඇත.

“දෙසැම්බර් 3 සැසිවාරය සඳහා පිට පළාත්වල මන්ත්‍රීවරුන් දෙසැම්බර් 2 වැනිදා කොළඹට පැමිණිය යුතුයි. ඊට පෙර නිල නිවාස සූදානම් වේදැයි අපට විශ්වාස නැහැ. නමුත් අපි තවම විකල්ප විසඳුමක් ගැන තීරණය කර නැහැ,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සේවා කාර්යාලයේ එක් ප්‍රධාන නිල නිවසක් මන්ත්‍රීවරුන්ගේ පරිහරණය සඳහා වෙන් කර ඇත.

මාදිවෙල නිවාස සංකීර්ණය නිවාස ඒකක 120කින් සමන්විත වන අතර, ඒ සෑම එකක්ම වර්ග අඩි 900ක බිම් ප්‍රමාණයකින් සමන්විත වේ.

නිදන කාමර තුනක්, පැන්ට්‍රියක්, විසිත්ත කාමරයක්/කෑම කාමරයක්, සේවක වැසිකිළියක් සහ වාහන නැවැත්වීමේ ඉඩකඩක් එම නිවාස සතුය.

මෙම ඒකක කුලී පදනම මත සුදුසුකම් ලත් සාමාජිකයන් විසින් පරිහරණය සඳහා ලබා ගත හැකිය.

මීට අමතරව, කාර්යාලය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ පවුල් සඳහා පමණක් නුවරඑළියේ කාමර 19කින් යුත් ‘ජෙනරල්ස් හවුස්’ නමින් හැඳින්වෙන නිවාඩු බංගලාවක් පවත්වාගෙන යයි.

මාදිවෙල යෝජනා ක්‍රමයෙන් නිවාස ලබා දීම මෙන්ම ‘ජෙනරල්ස් හවුස්’හි කාමර වෙන්කිරීම වැනි නේවාසික සේවාවන් සැපයීමට මෙම කාර්යාලය ක්‍රියා කරයි.

සම්බන්ධීකරණ ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සහයෝගීතාවයෙන් මාදිවෙල නිවාස ඒකකවල සහ ‘ජෙනරල්ස් හවුස්’ හි අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු සම්බන්ධීකරණය කිරීම ද එම කාර්යාලය විසින් අධීක්ෂණය කෙරේ.

42.31%
17.27%
32.76%