November 23, 2024

අමෙරිකානු ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් එරට නව නීතිපතිවරයා ලෙස පෑම් බොන්ඩි නම්කර තිබේ.

ඒ, රිපබ්ලිකන් පාක්ෂිකයකු මෙන්ම නීතිවේදියකු ද වන මැට් ගේට්ස් නීතිපති ධුරය සඳහා යෝජිත සිය නම ඉවත් කරගෙන පැය කිහිපයකට පසුවය.

බොන්ඩි අමෙරිකාවේ නීති ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහට ලක්ව සිටින චරිතයක් ලෙස ප්‍රකට අයෙකි.

ඇය මීට පෙර ෆ්ලොරිඩාවේ නීතිපති ලෙස සේවය කර තිබේ.

ට්‍රම්ප්ගේ දිගු කාලීන සගයකු වූ බොන්ඩි ට්‍රම්ප්ගේ පළමු සෙනෙට් දෝෂාභියෝග නඩු විභාගයේදී ඔහුගේ නීතීඥ කණ්ඩායමේ සිටි අතර නිව් යෝර්ක් හිදී විභාග කළ ඔහුගේ මූල්‍ය නඩු විභාගයේදී අධිකරණයේ පෙනී සිටීමෙන් ඔහුට ප්‍රසිද්ධියේ සහාය දැක්වීය.

“පෑම් වසර 20 කට ආසන්න කාලයක් නඩු පවරන්නකු වූ අතර එහිදී ඇය ප්‍රචණ්ඩකාරී අපරාධකරුවන්ට ඉතා දැඩිවූවා. ෆ්ලොරිඩාව පවුල් සඳහා ආරක්ෂිත කළා,” යනුවෙන් ට්‍රම්ප් ඔහුගේ තීරණය නිවේදනය කරමින් සමාජ මාධ්‍ය සටහනක පැවසීය.

බොන්ඩි, ට්‍රම්ප්ගේ 2016 ව්‍යාපාරයේ සිට සමීපව සිට ඇති අතර, මෑත ට්‍රම්ප් රැලියකදී ඡන්දදායකයන්ට පැවසුවේ ඇය ඔහුව මිතුරකු ලෙස සළකන බවයි.

එමෙන්ම බොන්ඩි, ට්‍රම්ප්ගේ පළමු දෝෂාභියෝගයේදී ඔහුගේ නීති උපදේශක සහ ආරක්ෂක නීතිඥවරිය ලෙස සේවය කළාය.

ඔහු නිදොස් කොට නිදහස් කෙරුණේ එම කාලය තුළදීය.

ඇය ට්‍රම්ප්ගේ ඔපියොයිඩ් සහ මත්ද්‍රව්‍ය අපයෝජන කොමිසමේ ද සේවය කර ඇති අතර, වඩාත් මෑතක දී, ට්‍රම්ප් කාර්ය මණ්ඩල හිටපු සාමාජිකයන් විසින් ආරම්භ කරන ලද ‘අමෙරිකා ෆර්ස්ට්’ ප්‍රතිපත්ති ආයතනයේ නීති අංශයේ ප්‍රධානියා විය.

42.31%
17.27%
32.76%