November 21, 2024

යුද හමුදාව ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම යටතේ උතුරේ කට්කොලම් හමුදා කඳවුරේ අක්කර 8ක ඉඩමක් නැවත සිවිල් වැසියන්ට ලබාදෙන බව යුද හමුදාව පවසයි.

4 වැනි සිංහ රෙජිමේන්තුව විසින් මෙහෙයවනු ලබන මෙම කඳවුර විසුරුවා හැරීමට නියමිතව ඇත්තේ, හමුදාව විසින් අත්පත් කරගෙන සිටින ඉඩම් ප්‍රදේශවාසීන්ට නැවත ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක පුළුල් වැඩසටහනක කොටසක් ලෙසය.

පේදුරුතුඩුව සහ කොඩිකාමම් අතර පිහිටා ඇති කඳවුරේ යටිතල පහසුකම් කඩා ඉවත්කර දැමීමට යුද හමුදාව කටයුතු කරමින් සිටී.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර පැවසුවේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස කඳවුර ඉවත් කිරීමට තීරණය කළ බවයි.

ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මේ ආරක්‍ෂක සමාලෝචනයේදී කඳවුර ඉවත් කළ හැකි බව හඳුනාගෙන ඇතැයි ඔහු පැවසීය.

මේ අතර, හමුදාව විසින් අත්පත් කරගෙන සිටින තවත් ඉඩම් කිහිපයක් නැවත සමාලෝචනය කර සිවිල් ජනතාවට ලබාදීමට සැලසුම් කර ඇති බවත්, එය භාරදීම සඳහා නිශ්චිත දිනයක් මෙතෙක් තීරණය කර නොමැති බවත් ඔහු පැවසීය.

කෙසේවෙතත්, කට්කෝලම් කඳවුර විසුරුවා හැරීම සිදුවන්නේ මතභේදයකින් තොරව නොවේ.

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී පේදුරුතුඩුව ප්‍රදේශයේ අපරාධ වැඩිවීමේ හැකියාව පිළිබඳ කනස්සල්ල පළ කරමින් මෙම පියවරට එරෙහිව ප්‍රදේශවාසීන් විරෝධතාවක් පැවැත්වීය.

යුද හමුදා කඳවුර ඉදිරිපිට විරෝධතා පුවරු රැගෙන පෙළපාලි ගිය විරෝධතාකරුවෝ කියා සිටියේ හමුදාවේ පැමිණීම අපරාධ අවම කිරීමට සහ හදිසි අවස්ථාවලදී මිනිසුන් බේරා ගැනීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ බවයි.

රජයේ නියෝගවලට අනුකූලව කටයුතු කිරීම සඳහා යුද හමුදාව විසින් 2023 දී මඩකලපුවේ සිට්ටන්ඩි ප්‍රදේශයේ අක්කර 8.6ක භූමි ප්‍රමාණයක් නිදහස් කරන ලද අතර එය මීට පෙර 4 ගැමුණු හේවා භට පිරිස් විසින් මෙහෙයුම් කටයුතු සඳහා භාවිත කරන ලදී.

කෙසේවෙතත් අහ්මුදා කඳවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ සිය X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශකර තිබුණේ ජාතික ආරක්ෂාව තහවුරු කර පවත්වාගැනීම අතිශය වැදගත් බව ආණ්ඩුව සහ ආණ්ඩුවේ නායකයන් අමතක නොකළ යුතුබවයි.

එම සටහන මෙසේයි;

“වාර්තාවලට අනුව, උතුරේ තිබූ යුධ හමුදා කඳවුරක් ඉවත් කර, එම ඉඩම් පුද්ගලයන්ට බෙදාදීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කර තිබේ. ඒ අයුරින්ම තවත් යුධ හමුදා කඳවුරු විශාල ප්‍රමාණයක් ඉදිරි මාසවලදී ඉවත් කිරීමටද ආණ්ඩුව සැලසුම් කර ඇත.

හමුදා කඳවුරු ඉවත්කර ඉඩම් මුදාහැරීම ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කර සමාලෝචනයකින් පසුව වගකීම් සහගතව සිදුකළ යුත්තකි. ජාතික ආරක්ෂාවට කිසියම් හෝ හානියක් මෙමඟින් සිදුනොවිය යුතු බවට අප තරයේ විශ්වාස කරමු.

ශ්‍රී ලංකාව අවුරුදු 30ක ත්‍රස්තවාදය පරාජය කළ අතර, අද සියලුම ජනතාවට නිදහසේ ජීවත් විය හැකිය. උතුරේ හෝ දකුණේ වුවද, ජාතික ආරක්ෂාව තහවුරු කර පවත්වාගැනීම අතිශය වැදගත් බවට ආණ්ඩුව සහ ආණ්ඩුවේ නායකයන් අමතක නොකළ යුතුය.”

 

42.31%
17.27%
32.76%