November 18, 2024

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවට බටහිර දෙසින්, නාවික සැතපුම් 110 ක් (කිලෝමීටර් 200 ක්) පමණ ගැඹුරු මුහුදේ, ශ්‍රී ලංකා නාවික නෞකා නන්දිමිත්‍ර නෞකාව යොදවා සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බවට සැකකෙරෙන මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස්දෙනෙකු සිය භාරයට ගැනීමට කටයුතු කර තිබේ.

එම ධීවර යාත්‍රාව ගාල්ල වරාය‍ට රැගෙනවිත් සිදුකළ වැඩිදුර පරීක්‍ෂාවේදී, උර දෙකක් තුළ (02) පාර්සල් හතළිහක (40) අසුරා තිබූ, රුපියල් මිලියන 1152 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 46 යි ග්‍රෑම් 116 ක පමණ තොගයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23 ත් 33 ත් අත‍ර වන ගන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් පස්දෙනා (05) සහ බහුදින ධීවර යාත්‍රාව (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට නියමිතව තිබේ.

42.31%
17.27%
32.76%