November 13, 2024

ධාවනය වෙමින් තිබූ දුම්රියක සිට සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට තැත් කළ කොරියානු සංචාරකයකු අනතුරකට ලක්ව තිබේ.

සඳුදා (11) රාත්‍රියේ බදුල්ල බලා ධාවනය වූ උඩරට මැණිකේ ශීඝ්‍රගාමී දුම්රියේ ගමන් ගත් එම විදේශිකයා හපුතලේ දුම්රිය ස්ථානය අසලදී පා පුවරුවෙන් ඉවතට වී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යෑමේදී දුම්රිය මායිමේ පිහිටි යකඩ කණුවක හැපී ඇත.

පොලීසිය පැවසුවේ, තුවාල ලැබූ සංචාරකයා දියතලාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයෙන් බදුල්ල ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බවයි.

මෙම කොරියානු සංචාරකයා 61 හැවිරිදි ෂෝලි ටොං බේ ලෙස හඳුනාගෙන ඇත.

බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය පාලිත රාජපක්ෂ පැවසුවේ කොරියානු සංචාරකයාගේ හිසට බරපතළ තුවාල සිදුව ඇති බවයි.

පසුගිය දිනවල ධාවනය වන දුම්රියේ සිට සෙල්ෆි ගැනීමට උත්සාහ කළ සංචාරකයන් කිහිප දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවත් ඒ පිළිබඳ දුම්රිය නිලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවත් ඔහු පැවසීය.

මේ අතර බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියේ තවත් කිහිප දෙනෙකු සමඟ ඇල්ල බලා යමින් සිටි රත්ගම ප්‍රදේශයේ තරුණියක් හපුතලේ දුම්රිය ස්ථානයේදී සෙල්ෆි ඡායාරූපයක් ගෙන ධාවනය වෙමින් තිබූ දුම්රියට ගොඩවීමට උත්සාහ කිරීමේදී දුම්රියෙන් ඇද වැටී තිබේ.

හපුතලේ දී නවතා තිබූ දුම්රියෙන් බැස වේදිකාව මත සිටි ඇය සෙල්ෆි ඡායාරූපයක් ගනිමින් ගමන් කරමින් තිබූ දුම්රියට ගොඩවීමට උත්සාහ කර ඇත.

වේගයෙන් පැමිණි ඇය දුම්රියෙන් වැටීම නිසා පාදයේ පහළ කොටසට බරපතළ තුවාල සිදුවී ඇත.

ඇය ද බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබිණි.

 

 

42.31%
17.27%
32.76%