November 13, 2024

මැතිවරණ ප්‍රචාරණ නිහඬ කාලසීමාව තුළදී මහමැතිවරණයට ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයෙක් රංගනයෙන් දායක වන කිසිදු කලා නිර්මාණයක් ප්‍රසිද්ධ නොකරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු ජනමාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටියි.

නිහඬ කාල සීමාව තුළදී මැතිවරණ ප්‍රචාරණ සියලු කටයුතු අවසන්ව ඇති හෙයින් ප්‍රවෘත්තියක් පමණක් නොව මහමැතිවරණයට ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයෙක් සහභාගි වන ටෙලි නාට්‍යයක්, චිත්‍රපටයක් හෝ ප්‍රසිද්ධ කිරීමට හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (12දා) පැවැති විශේෂ ජනමාධ්‍ය හමුවේදී එහි සභාපති ආර්. එම්.ඒ.එල්. රත්නායක පැවැසීය.

එහිදී සභාපතිවරයා මෙසේ ද පැවැසීය.

“11වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඡන්ද විමසීම දක්වා නිහඬ කාලය තුළ කිසිදු ප්‍රචාරක රැස්වීමක්, ප්‍රචාරක කටයුත්තක් සිදුකිරීම සම්පූර්ණයෙන් තහනම්. කිසිදු මාධ්‍යයක අපේක්ෂකයෙක් අගතියට පත්වන හෝ ප්‍රවර්ධනය වන ආකාරයේ කිසිවක් ප්‍රකාශ කිරීමට හෝ ප්‍රසිද්ධ කිර්මට හැකියාවක් නැහැ. ඡන්දයට ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයෙක් සහභාගි වන ටෙලිනාට්‍යයක් ප්‍රසිද්ධ කරන්න, විකාශනය කරන්න හැකියාවක් නැහැ. මේ ඉතා කෙටි කාලය තුළ ඉතාම සංයමයෙන් කටයුතු කර මැතිවරණ කොමිෂන් සභාවට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා. දැනට ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති සියලුම ඡන්ද කාර්යාල ඉවත් කරගත යුතු වෙනවා. අපේක්ෂකයන් ඒවා ඉවත් කරගන්නේ නැත්නම් පොලිසිය ඒවා ඉවත් කරනවා.”

42.31%
17.27%
32.76%