November 12, 2024

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) සිටින ශ්‍රී ලාංකිකයන් මියන්මාරයේ සයිබර් වංචා මධ්‍යස්ථාන වෙත යවන බවට ජාතික මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බලකාය අනතුරු අඟවා තිබේ.

මියන්මාරයේ සයිබර් වංචා මධ්‍යස්ථාන වෙත විවිධ ආකාරයේ බඳවාගැනීම් ඉහළයෑම සම්බන්ධයෙන් ජාතික මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බලකාය අවස්ථා කිහිපයකදීම ජනතාවට අනතුරු ඇඟවීම් නිකුත් කළේය.

දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් කණ්ඩායම් වශයෙන් මියන්මාරයේ සයිබර් වංචා මධ්‍යස්ථාන වෙත යවන අතර එම වංචා මධ්‍යස්ථානවල අලුතින් බඳවා ගන්නා ශ්‍රී ලාංකික පුරවැසියන් ප්‍රමාණයේ වැඩිවීමක් පවතින බවට ජාතික මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බලකාය වෙත විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු ලැබී තිබේ.

තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ට විදේශයන්හි ඉහළ වැටුප් ලබන තොරතුරු තාක්ෂණ තනතුරු ලබා දෙන බවට පොරොන්දු වෙමින් ජාවාරම්කරුවන් පොළඹවන බව මෑත කාලීන විමර්ශනවලින් හෙළිවිය.

මෙම පුද්ගලයන් රැකියා සම්මුඛ පරීක්ෂණ මුවාවෙන් ඩුබායි වැනි ප්‍රදේශවලට රැගෙන ගොස් මියන්මාරයේ සයිබර් වංචා මධ්‍යස්ථානවල නීතිවිරෝධී ලෙස සේවය කිරීමට බල කරන බව ද පරීක්ෂණවලින් අනාවරණ වී තිබේ.

මෙම වංචා මධ්‍යස්ථාන තුළදී විදුලි සැර වැද්දවීම වැනි මානසික සහ ම්ලේච්ඡ කායික වධ හිංසාවලට පවා ඔවුන් ලක්වන බව විමර්ශනවලින් වැඩිදුරටත් අනාවරණ වී ඇත.

“නීතිවිරෝධී සංක්‍රමණ මාර්ග අතිශයින්ම භයානක වන අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනත උල්ලංඝනය කරන බැවින් ඒවා භාවිත නොකරන ලෙස අපි දැඩි ලෙස උපදෙස් දෙනවා. රැකියා සොයන්නන් සංචාර වීසා මත වෙනත් රටවලට යෑමෙන් වැළකිය යුතුය,” යනුවෙන් ජාතික මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බලකාය අනතුරු අඟවයි.

කිසියම් සැක කටයුතු ක්‍රියාකාරකම් 0112102570/ 076 844 7700 යන දුරකථන අංක හෝ nahttfsrilanka@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනය හරහා වාර්තා කරන ලෙස ජාතික මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බලකාය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතරම, තොරතුරු සපයන්නන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමේ වගකීම අවධාරණය කර තිබේ.

42.31%
17.27%
32.76%