November 12, 2024

සංචාරකයන්ට තම ආරක්ෂාව ගැන ඉල්ලීම් ඉදිරිපත් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා ඇති පොලිස් වෙරළබඩ සහ සංචාරක කොට්ඨාසයේ ප්‍රධානියා වන නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජය ශ්‍රීට පසුගිය දින කිහිපය තුළ ඇමතුම් 400කට වඩා ලැබී තිබේ.

ඊශ්‍රායල සංචාරකයන් සහ අනෙකුත් සංචාරකයන් ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ තර්ජනයක් ගැන ප්‍රකාශ වීමෙන් පසු ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය සහ ඊශ්‍රායල රජය ආරුගම් බොක්ක සහ තවත් ඇතැම් මුහුදු වෙරළ ආශ්‍රිත ප්‍රදේශවලට යන තම පුරවැසියන්ට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබිණි.

ඒ අනුව ඔවුන්ගේ ආරක්ෂාව ගැන යම් සැළකිල්ලක් දක්වන සංචාරකයන්ට ඒ සඳහා දැනුම්දීමේ මධ්‍යස්ථානය ලෙස විජය ශ්‍රීගේ ප්‍රධානත්වයෙන් යුතු කොට්ඨාසය පත් කරන ලදී.

නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජය ශ්‍රී ප්‍රකාශ කර ඇත්තේ පසුගිය දින කිහිපය තුළ ඔවුන්ට ඇමතුම් 400කට වඩා ලැබුණු බවයි.

ඒ අතරින් බහුතරය ආරක්ෂාව සම්බන්ධ පැමිණිලිය.

ඔවුන්ගේ සියලු ගැටලු විසඳීමට පොලිස් වෙරළබඩ සහ සංචාරක කොට්ඨාසය කටයුතු කර ඇත.

සංචාරකයන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කරමින් නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජය ශ්‍රී ප්‍රකාශ කරන්නේ ඔවුන් ගනු ලැබූ වැදගත්ම ක්‍රියාමාර්ගය වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි බිම් මට්ටමේ බුද්ධි නිලධාරීන් යෙදවීම බවයි.

ඔවුන් අවශ්‍ය නිරීක්ෂණ කටයුතු සිදුකරන බවත් ඊට අමතරව මාර්ග බාධක දමා ඇති අතර වෙරළාසන්න ප්‍රදේශවල පා මුර සංචාර සිදු කෙරෙන බවත් ඔහු සඳහන් කරයි.

මීට පෙර අවස්ථාවක විජය ශ්‍රී පවසා තිබුණේ පොලිස් නිලධාරීන් විවිධ ස්ථානවල ස්ථානගත කර සංචාරකයන් ආරක්ෂා කරන අතර ඔවුන්ගෙන් ඇතැමුන්ට අනාරක්ෂිත යැයි හැඟේ නම් පොලිස් නිලධාරීන් ඔවුන් සමඟ ගමන්කරන බවයි.

එවැනි අවස්ථාවලදී යොදවන පොලිස් නිලධාරීන් සංඛ්‍යාව තර්ජනයේ ස්වභාවය සහ සංචාරකයාගේ බිය මත රඳා පවතිනු ඇත.

කෙසේවෙතත් වර්තමානයේ සංචාරකයන් එතරම් බියක් නොදක්වන බව ද ඔහු පැවසීය.

 

42.31%
17.27%
32.76%