November 7, 2024

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ෂාෆි සිහාබ්දීන්, 2019 වසරේ තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයට අද පැමිණිල්ලක් ගොනුකළේය.

ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍ය සිහාබ්දීන් කියාසිටියේ, දේශපාලන ප්‍රචාරක කටයුතු සඳහා තමන්ට එල්ල කරන අසත්‍ය චෝදනා හේතුවෙන් තමන් මෙම අමිහිරි අත්දැකීමට මුහුණදුන් බවත් මින් ඉදිරියට එවැනි සිදුවීම් සිදුනොවීමට තමන් පැමිණිල්ලක් ගොනුකළ බවත්ය.

වෛද්‍ය සිහාබ්දීන් වැඩිදුරටත් කියාසිටියේ තමාට එරෙහිව අසත්‍ය චෝදනා එල්ලකළ සියලුදෙනාට එරෙහිව පැමිණිල්ලක් ගොනුකිරීමට කටයුතු කළ බවයි.

“මට විරුද්ධව පැමිණිල්ලක් නැතිව මාව අත්අඩංගුවට ගත්තා. මගේ වෘත්තීය ජීවිතය විනාශ කරන බවට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මගේ වත්කම් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට තවත් පැමිණිල්ලක් ආවා. මටයි මගේ පවුලයි සමාජයට මුහුණ දෙන්න බැරි තත්ත්වයකට ගෙනාවා,” ඔහු පැවසීය.

වසර පහක නඩු විභාගය අතරතුර, තමා සහ තම බිරිඳ පැමිණිලි කිහිපයක් ගොනුකළ නමුත්, ඒ කිසිවකට විසඳුම් නොලැබුණු බව සඳහන් කළ වෛද්‍ය සිහාබ්දීන් කියාසිටියේ, තමා අත්විඳින ලද පීඩාවට වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවන බව සහතික කිරීම සඳහා පැමිණිල්ල ගොනුකළ බවයි.

පැමිණිලිකරුවන් සිය චෝදනා ඔප්පු කිරීමට අපොහොසත් වීම හේතුවෙන්. වෛද්‍ය ෂාෆි සිහාබ්දීන් විසින් 2019 වසරේදී අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා සියල්ලෙන් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ ඔහුව නිදොස් කොට නිදහස් කළේය.

2019 වසරේදී කුරුණෑගල ශික්ෂණ රෝහලේ නීතිවිරෝධී වඳ සැත්කම් සිදුකළ බවට චෝදනා එල්ල කර වෛද්‍ය සිහාබ්දීන් අනිවාර්ය නිවාඩු යවා තිබිණි.

කාන්තාවන්ගේ අනුමැතියකින් තොරව වන්ධ්‍යාකරණය කිරීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

වෛද්‍ය සිහාබ්දීන්ට නීතිවිරෝධී ලෙස ධනය රැස්කිරීම සහ ත්‍රස්තවාදී සංවිධානයක් සමඟ සබඳතා පැවැත්වූ බවට ද චෝදනා එල්ල විය.

සිදුකළ විමර්ශනවලින් චෝදනා කිසිවක් ඔප්පු වී නොමැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ඔහු ඇප මත මුදාහැරියේය.

42.31%
17.27%
32.76%