November 7, 2024

නීතිවිරෝධී ලෙස එකලස් කර ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාව මත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ නොවැම්බර් 18 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මිරිහාන පොලිසියට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ විමර්ශනයකදී පසුගියදා රත්වත්තේගේ බිරිඳට අයත් මිරිහාන ප්‍රදේශයේ නිවසක තිබී අංක තහඩුවක් නොමැති මෝටර් රථය සොයාගෙන තිබිණි.

එම නිවස රත්වත්තේගේ බිරිඳට අයත් එකක් බව පරීක්‍ෂණ කළ පොලිස් නිලධාරීන් සොයාගෙන ඇත්තේ, එම ඉඩමේ තිබූ වාහනය සොයා ගැනීමෙන් පසුවය.

එම අවස්ථාවේදී ලොහාන් රත්වත්තේ ප්‍රකාශ කර ඇත්තේ, පසුගියදා මහනුවරදී සියදිවි නසාගෙන මියගිය තම සම්බන්ධීකරණ ලේකම්වරයා තමන්ට නොදන්වා මෝටර් රථය මෙම නිවෙස වෙත රැගෙන ආ බවත් වාහනයේ හිමිකරු පිළිබඳව තමා නොදන්නා බවත්ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලොහාන් රත්වත්ත පසුව (ඔක්තෝබර් 31) අත්අඩංගුවට ගත් අතර ඉන් පසුව ඔහුගේ බිරිඳද පොලිස් භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

42.31%
17.27%
32.76%