November 6, 2024

කෑගල්ල බුළුරුප්ප කෙම්පිටිය වළව්වේ වයෝවෘද්ධ හිමිකරුට අතපය ගැටගසා පහරදී, මුවට ප්ලාස්ටර් ඔබා, ගෙළ සිරකර මරාදැමීම සම්බන්ධයෙන් දිවයිනේ ප්‍රසිද්ධ පෞද්ගලික ආයතනයක සභාපතිවරයකු සහ කෝටිපති ව්‍යාපාරිකයකු වන පුද්ගලයකුගේ බිරිය සමඟ අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනකු පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේදී කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

විමර්ශන නිලධාරීන් උපුටා දක්වමින් ‘මව්බිම’ පුවත්පත එම සිදුවීමට අදාළව ගෙන එන වාර්තාව මෙසේය.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව මෙන්ම කල්ලි සාමාජිකයන් දෙදෙනා අධික මත්දුව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් බව පැවැසේ.

කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරික්ෂකවරියට ලැබුණු ඔත්තුවක් මත මෙම කණ්ඩායම අත්අඩංගුවට ගෙන ඇත.

කෙම්පිටිය වලව්වේ ඝාතනය සඳහා කල්ලි සාමාජිකයන් තිදෙනකු සහභාගි වී ඇති අතර ඉන් දෙදෙනකු මේ වන විට අත්අඩංගුවට පත්වී තිබේ.

ඔවුන් මිනිස් ඝාතන සහ කොල්ලකෑම් ඇතුළු සෙසු අපරාධ රැසක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව මේ වන විට වරෙන්තු ලබා සිටින පුද්ගලයන්ය.

ඉකුත් 27 වැනිදා මෙම ඝාතනය සිදුව තිබිණි.

වලව්වට ඇතුළු වූ ඝාතකයන් එහි හිමිකරු මරා බිරියටද පහර දී වලව්වේ තිබූ හිමිකරුට අයත් මොටෝරියද රැගෙන පළාගොස් තිබිණි.

විමර්ශන පවත්වන නිලධාරීන් විසින් ඊට පැය කිහිපයකට පසු පැහැරගෙන ගිය මෝටර් රථය පින්වත්ත පොලිස් වසමේ දමා ගොස් තිබියදී සොයා ගැනිණි.

පසුව මේ සම්බන්ධයෙන් කෑගල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශය සහ කොට්ඨාස අපරාධ ව්මර්ශන අංශය විසින් විමර්ශන පවත්වන ලදී.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරද්දී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියට සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරක් ලැබුණු අතර එහි සඳහන් වූයේ එම කල්ලියේ සාමාජිකයන් පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේ නිවෙසක සැඟව සිටින බවය.

පසුව නිලධාරීන් කණ්ඩායමක් එම නිවෙසට ගොස් කාන්තාවක් සහ කල්ලි සාමාජිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර විමර්ශනයේදී අනාවරණය වන්නේ මෙම කල්ලිය සැකකාර කාන්තාව විසින් මෙහෙයවා ඇති බවය.

ප්‍රධාන සැකකරුට බන්ධනාගාර රැඳවියකු විසින් ලබාදෙන තොරතුරු මත මෙම කාන්තාව විසින් තරුණයන් තිදෙනකු බෝකුන්දරට කැඳවා ඇගේ සොහොයුරකුගේ නමට ගත් මෝටර් රියකින් ඇය සහ කල්ලි සාමාජිකයන් තිදෙනා එහි රියදුරාද සමඟ කෑගල්ලට ගොස් ඇත.

පසුව එකී කාන්තාව කෙම්පිටිය වලව්ව සිය කල්ලියේ සාමාජිකයන්ට පෙන්වා යළි රංවල ප්‍රදේශයට පැමිණ සිය සාමාජිකයන් තිදෙනා වෙනත් ත්‍රීවිලරයකින් කෙම්පිටිය වලව්ව වෙත යවා තිබේ.

කල්ලියේ සාමාජිකයන් කෙම්පිටිය වලව්වට ඇතුළු වී එහි සිටි හිමිකරු සහ ඔහුගේ බිරියට පහර දී හිමිකරුගේ අත-පය බැඳ මුවේද ප්ලාස්ටර් අලවා ගෙළ සිරකොට ඔහු ඝාතනය කොට මුළු වලව්වම පීරා මුදල් සොයා ඇත.

එහෙත් ඔවුන්ට සොයාගන්නට ලැබී ඇත්තේ රුපියල් දසදහසක් පමණක් බව පොලිසිය කියයි.

ලක්ෂ ගණනක මුදල් ඇති බව සිතා මොවුන් වලව්වට ඇතුළු වුවද රුපියල් දසදහසක් පමණක් හමුවීමෙන් පසු මරා දැමුණු නිවෙසේ හිමිකරුගේ මුද්ද ද ගලවාගෙන පිටවගොස් ඇත.

පසුව ඔවුන්ගේ දුරකථන ඇමැතුමකට අනුව අදාළ කාන්තාව සහ කල්ලි සාමාජිකයන් අවිස්සාවේල්ල තල්දුව ප්‍රදේශයට පැමිණ කොල්ලකාගත් රන්මුදුව විකුණා රුපියල් එක් ලක්ෂ 65,000ක මුදලක් ලබාගෙන ඉන්ද හෙරොයින් භාවිත කර තිබේ.

එම මුද්ද විකුණා ඇත්තේද සැකකාර කාන්තාව විසින් බව පොලිසිය කියයි.

සිද්ධිය පසුවදා ප්‍රවෘත්ති ඔස්සේ විකාශය වීමත් සමඟ බියට පත් කාන්තාව සහ කල්ලි සාමාජිකයන් මිද්දෙණියට ගොස් සැඟව ඇතත් කිසිවකු හදුනාගනීවි යැයි බියෙන් මොවුන් නැවැතත් බෝකුන්දර ප්‍රදේශයේ නිවෙසට පැමිණ තිබේ.

ප්‍රධාන පොලිස් පරික්ෂකවරියට මොවුන් සම්බන්ධයෙන් තොරතුරු ලැබෙන්නේ ඉන් පසුවය.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු බිම්සර නමැත්තෙකි. ඔහු ත්‍රිකුණාමල පදිංචිකරුවෙකි. නිවාස සහ වෙළෙඳසල් කොල්ලකෑම් ගණනාවක් සිදුකළ අයෙකි.

මංකොල්ලකෑමට සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී නලින් නමැති අයකු හඳුනාගෙන ඇති අතර ඇප මත නිදහස්ව නිවෙසට පැමිණීමෙන් පසු ප්‍රධාන සැකකරු පිළියන්දල ප්‍රදේශයේ නිවසකට පදිංචියට පැමිණ තිබේ.

එහිදී ඔහුට කෝටිපති ව්‍යාපාරිකයාත් ව්‍යාපාරිකයාගේ සැකකාර බිරිය හඳුනාගැනීමට අවස්ථාව හිමිව තිබේ.

ඒ අතරදී කෑගල්ල කෙම්පිටිය වලව්ව පිළිබඳව ඔහුට තොරතුරු ලැබී ඇති අතර පසුව ඒ බව සැකකාර කාන්තාවට දැනුම් දීමෙන් පසු ඇගේ සහයෝගයෙන් මෙම කොල්ලකෑම සිදුකර තිබේ.

සැකකාරිය සහ සැකකරුවන් පිළියන්දල සිට කෑගල්ල බලා යෑමට උපයෝගී කරගත් මෝටර් රථය, අත්බෑග්, අත්මේස් කුට්ටම්, උල් පිහි දෙකක්ද පොලිස් කණ්ඩායම් සොයාගෙන ඇති අතර, සැකකාරියගෙන් කරන ලද ප්‍රශ්න කිමෙන් පසු බොරැලැස්ගමුව ප්‍රදේශයට විකුණන ලද මියගිය පුද්ගලයාගේ රන් මුද්දද සොයාගෙන තිබේ.

සැකකාරිය සහ සැකකරුවන් දෙදෙනා කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

42.31%
17.27%
32.76%