November 5, 2024

2019 පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට ​​එරෙහි නඩුවේ විත්තිය යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

ඔවුන් දෙදෙනාගේ විත්ති පාර්ශ්වයට සවන් නොදී ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව කළ අභියාචනය සළකා බැලීමෙන් අනතුරුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල වෙත අද මෙම නියෝගය නිකුත් කෙරිණි.

ප්‍රනාන්දුට සහ ජයසුන්දරට ​​චෝදනා එල්ල වී ඇත්තේ පාස්කු ප්‍රහාරයට පෙර බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වැළැක්වීමට අපොහොසත් වූ බවටයි.

නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනා දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුව විත්තිය යළි කැඳවීමට ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් තීරණය කර තිබේ.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට ​​එරෙහිව නීතිපතිවරයා මීට පෙර කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුවක් පවරා තිබිණි.

කෙසේවෙතත්, එම නඩු විභාග කළ කොළඹ ස්ථිර මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විත්ති පාර්ශ්වයේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරුවන් දෙදෙනාම නිදොස් කොට නිදහස් කිරීමට තීරණය කළේය.

කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ නඩු විභාගයේ තීන්දුව නීතියට පටහැනි බවත් එය බල රහිත කරන ලෙසත් ඉල්ලා නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම අභියාචනය ඉදිරිපත් කර තිබේ.

එම අභියාචනය සැළකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ නඩු විභාගය අතරතුර නඩුවේ විත්තිය යළි කැඳවීමට නියෝග කළ යුතුව තිබූ බවයි.

42.31%
17.27%
32.76%