November 5, 2024

හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්‍රභූන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වූ තක්සේරු වාර්තාවක් ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කරන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි.

වාර්තා සඳහන් කරන්නේ, අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට මෙම වාර්තාව ඉදිරිපත් කෙරෙනු ඇති බවයි.

වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ, අදාළ වාර්තාව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ලබාදෙන තීරණයෙන් පසුව හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව අඩු කරනවා ද නැද්ද යන්න පිළිබඳ තීරණයක් ගන්නා බවයි.

හිටපු ජනාධිපතිවරුන් සහ අනෙකුත් ප්‍රභූවරුන් සම්බන්ධයෙන් ගනු ලබන ආරක්ෂක පියවර පිළිබඳ තක්සේරුවක් පසුගියදා මහජන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රමුඛ කමිටුවක් විසින් සකස් කර තිබිණි.

ඒ අනුව අවශ්‍ය නිලධාරීන් සංඛ්‍යාව තීරණය කර හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක අංශවල අධ්‍යක්ෂවරුන් වෙත දැනුම් දීමෙන් පසු ඇතැම් ආරක්ෂක අධ්‍යක්ෂවරුන් අතිරේක පිරිස් ඉල්ලා තිබේ.

ඒ අනුව කමිටුව විසින් ඉදිරිපත් කළ මූලික නිර්දේශ නැවත සළකා බැලීමට කටයුතු කෙරිණි.

බුද්ධි අංශ නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ ප්‍රභූ ආරක්‍ෂක නිලධාරීන්ගෙන් සමන්විත කමිටුව සිය අවසන් තීරණය ගනු ලබන්නේ බුද්ධි වාර්තා මත පදනම්ව බව ප්‍රකාශ වී තිබිණි.

වැඩබලන පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද කමිටුවේ නිර්දේශ මත පදනම්ව සකස් කෙරුණු අදාළ තක්සේරු වාර්තාව මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

 

42.31%
17.27%
32.76%