November 2, 2024

ජනාධිපතිවරණ සමයේදී කියන ලද බොරු එළිවීම නිසා මේ වන විට ආණ්ඩුව බරපතළ අභියෝගයකට මුහුණ දෙමින් සිටින බවත් ඉදිරි මැතිවරණයෙන් තුනෙන් දෙකක් ගන්න බව කී ආණ්ඩුවට සරල බහුතරය ලබාගැනීම පවා දැන් ගැටලුවක්ව ඇති බවත් හිටපු ඇමැති මනුෂ නානායකකාර පැවසීය.

ඔහු සඳහන් කළේ පොරොන්දු වූ වැටුප් වැඩි නොකිරීම නිසා රජයේ සේවකයන් කලකිරී සිටින අතර ආණ්ඩුව තමුන් රැවටූ බව ඔවුන්ට අවබෝධවීම තැපැල් ඡන්ද භාවිතය අඩුවීමට හේතුවී ඇති බවයි.

ඉන්ධන මිල අඩු කිරීම, භාණ්ඩ මිල ඉහළ යෑම ඇතුළු මාධ්‍යවේදීන් නැගු විවිධ ප්‍රශ්නවලට ඔහු මෙසේ පිළිතූරු දුන්නේය.

”තැපැල් ඡන්ද භාවිතයේ අඩුවක් අපිට පේනවා. මං හිතන්නේ අර තිබිච්ච රැල්ල නිමවෙමින් තිබෙනවා. ඒ වගේම තමන් රැවටුනාදෝ කියල සමහරුන්ට තියෙන සැකයත් එක්ක වෙන්නැති මේ අඩුවීම ඇතිවෙලා තියෙන්නේ. ඒවගේම අපිට පේනවා රජයේ සේවකයෝ තමන්ගේ වැටුප් වැඩිනොවීම පිළිබඳ කණගාටුවෙන් ඉන්නවා. ඒ අයගේ බලාපොරොත්තු සුන්වීමක් වෙලා තියනවා. තැපැල් ඡන්ද අඩුවීමට ඒ ඔක්කොම බලපානවා.

ඊයේ පෙරේදා ඉන්ධන මිල සංශෝධනය වුණා. ආණ්ඩුව බාරගන්න කලින් මේ අය කීවේ තෙල්වලින් රුපියල් දෙසීයක් ඇමැතිවරයාගේ සාක්කුවට යනවා කියලා. දැන් තියෙන ප්‍රශ්නෙ තමයි මේ ඉන්න ඇමැතිවරයාත් එහෙමනං ලීටරයකින් රුපියල් දෙසීයක් සාක්කුවට දාගන්නවද කියන එක. නැතිනම් තමන් බොරු කිව්ව කියන එක දැන් පිළිගන්න බැරුව උත්තරයක් දීගන්න බැරුව ඉන්නවද කියන එක.

අපි කියන්නේ යථාර්ථය පැහැදිලි කරන්න කියලා. තෙල් මිල රුපියල් දෙසීයකින් අඩු කරල සියයට, එකසිය පනහට තෙල් ලබාදෙන්න . රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ ඇමැති කංචන ගෙනාපු මිල සූත්‍රයම නම් මේ අයත් පාවිච්චි කරන්නේ මොකක්ද ඒකේ තේරුම. කලින් අපි මිල සූත්ත්‍රය පාවිච්චි කරනකොට ඒක වැරදියි. මේ අය කරන කොට හරි. එහෙමද ආණ්ඩුව හිතන් ඉන්නේ. අපි නොවේ සමාජ මාධ්‍යයේ මිනිස්සුමයි ප්‍රශ්න කරන්නේ.

දේශපාලනය කියන්නේ සෙල්ලමක් නොවේ. ඒකෙදී අත්දැකීම් අවශ්‍ය වෙනවා. ඒ වගේම ව්‍යවස්ථාව සම්බන්ධව කටයුතු කරද්දී පරිණතභාවය අවශ්‍ය වෙනවා. රනිල් වික්‍රමසිංහගේ උපදෙස් ගන්න කැමති නැති වුණාට එතුමාගේ වැඩපිළිවෙළම තමයි තවම ක්‍රියාත්මක කරන්නේ. ඔය තමන් ක්‍රියාත්මක කරනවයි කියපු දේවල් දැන් ක්‍රියාත්මක කරන්න පුළුවන්නේ. අයි.එම්.එෆ්. ගිවිසුම සංශෝධය කරන්න. බදු ටික අඩු කරන්න පුළුවන්න්නේ. ඒ කියපුවා කරන්න බෑ. තවම කරන්නේ රනිල් වික්‍රමසිංහගේ වැඩ ටික. එතුමගේ උපදෙස් ගන්නේ නෑ කිව්වට එතුමගෙ පාරෙම තමයි යන්නේ.

ජනාධිපතිවරණයේදී ඡන්ද කෝටියක් ගන්නවා කීවා. ඒත් ගත්ටේ ලක්ෂ 56යි. එතන තියෙන්නේ 42%. විපක්ෂයට 58% ලැබුණා. පාර්ලිමේන්තු මැතිවරණයේදීත් වෙන්නේ මේකම තමා. තමන්ගේ දිස්ත්‍රික්කයේ දන්න කියන ඒ වගේම ප්‍රදේශයට වැඩ කරල තියෙන තමන් වෙනුවෙන් ඉදිරිපත් වෙච්ච, ප්‍රදේශයට සේවාවක් කරපු අය වෙනුවෙන් තමා මිනිස්සු ඡන්දෙ දෙන්නේ. එහෙම නැතුව නිකම් දන්නෙවත් නැති කෙනෙකුට පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඡන්දය දෙන සිරිතක් නැහැ. ඒ නිසා මේ බලාපොරොත්තු වෙන තුනෙන් දෙක තියා මං හිතන්නේ සරල බහුතරයක් හදාගන්නත් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ.” යනුවෙන් මනුෂ නානායක්කාර පැවසීය.

“බිත්තර ගැන අපි නෙවෙයිනේ කිව්වේ. ඉල්ලුම සැපයුම අනුව මිල වෙනස් වෙන බව අපි නම් දන්නවා. මේ අය තමා කිව්වේ බිත්තරවලින් කොමිස් ගහනවා කියලා. බිත්තර මිල අඩුවුණාම කිව්වා කොමිස් එක අඩු වුණ නිසා මිල අඩු වුණා කියලා. එහෙනම් මිල වැඩි වුණහමත් ඒකට උත්තර දෙන්න ඕනේ. හාල් පොල් මිල වැඩි වුණාම ඒකෙන් වසි ගන්න බොරු කියලා දැන් ඒ බොරුව මිනිස්සු ප්‍රශ්න කරන තැනට ආවාම උත්තර නැතිව ඉන්නවා. අපි කියන්නේ ආණ්ඩුවට කියපු බොරු එළිවෙනකොට කෙඳිරි ගාන්න නම් එපා කියලයි” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 

42.31%
17.27%
32.76%