November 2, 2024

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පිරිසක් ගමන් ගනිමින් සිටි බස් රථයක් දුන්හිඳ- බදුල්ල මාර්ගයේ අඹගස් හන්දිය ප්‍රදේශයේදී ඊයේ (නොවැ 01) දින අනතුරට ලක්වීමට හේතුව බස් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් බවට විශ්වාස කරන්නේ යැයි ආරක්ෂක අමාත්යංශය ප්‍රකාශ කරයි.

කෙසේවෙතත් ප්‍රදේශවාසීන් චෝදනා කළේ මාර්ගයේ වංගුවක් තිබූ, මාර්ගයට පෙරැළී තිබුණු විශාල ගලක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් පසුව මාර්ග සංවර්ධන අධිකාරියේ මැදිහත්වීමෙන් එම ගල අදාළ ස්ථානයෙන් ඉවත්කර ඇති බවද ප්‍රදේශවාසීහු පැවසූහ.

පහතින් දැක්වෙන්නේ ආරක්ෂක අමාත්යංශය මෙම අනතුර සම්බන්ධයෙන් නිකුත්කළ වැඩිදුර තොරතුරු ඇතුළත් නිවේදනයයි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පිරිසක් ගමන් ගනිමින් සිටි බස් රථයක් දුන්හිඳ- බදුල්ල මාර්ගයේ අඹගස් හන්දිය ප්‍රදේශයේදී ඊයේ (නොවැ 01) දින උදෑසන 0745 ට පමණ අනතුරට ලක් විය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 39 වන පාඨමාලාවට අයත් සිසු සිසුවියන් 36 දෙනෙක්, කථිකාචාර්යවරුන් 03 දෙනෙක්, එම කණ්ඩායම භාරව කටයුතු කල උපදේශකවරයෙක්, බස් රථය භාරව ගමන් කල ජ්‍යෙෂ්ඨ හමුදා සාමාජිකයෙක් හා බස් රථයේ රියදුරා ඇතුළු 42 දෙනෙක් මෙම පිරිසට අයත් වූහ.

සිදුවූ අනතුරින් ශිෂ්‍යාවන් දෙදෙනකු මියගොස් ඇති අතර, තවත් 40 දෙනකු තුවාල ලබා රෝහල්ගත කොට ඇත.

මියගිය සිසුවියන් දෙදෙනා කුරුණෑගල හා නිවිතිගල පදිංචිකාරියන් වන අතර, තුවාල ලබා ඇති සිසුන් මේ වන විට බදුල්ල මහරෝහලේ ප්‍රතිකාර ලබන බවත්, ඉන් 07 දෙනකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට ඇති බව හා එක් අයකුගේ තත්වය බරපතළ වන බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

මියගිය සිසුවියන් දෙදෙනාගේ අවසන් කටයුතු කොතලාවල ආරක්ෂ ක විශ්වවිද්‍යාලයේ පූර්ණ අනුග්‍රහය යටතේ සිදුකිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කොට ඇති බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ප්‍රකාශ කළේය.

තවද, ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් පරිදි අවශ්‍ය වුවහොත් වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝගීන් කොළඹට ගෙන ඒමට ශ්‍රී ලංකා ගුවන් හමුදා බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මේ වන විට දියතලාව ගුවන් හමුදා කදවුරේ ස්ථානගත කොට ඇත.

ලැබී ඇති තොරතුරු අනුව, බස් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුර සිදු වී ඇතැයි විශ්වාස කෙරේ.

තවද, මෙම අනතුර සිදුවූ මොහොතේ අනතුරින් තුවාල ලැබූවන් එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමටත් ඔවුන් කඩිනමින් රෝහල්ගත කිරීමටත් ක්‍රියාකළ ප්‍රදේශවාසීන් ඇතුළු සියලුදෙනාට හා වෛද්‍ය පාලිත රාජපක්ෂ‍ ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය වෙත ආරක්ෂක අමාත්‍යංශය සිය ස්තූතිය පුදකර සිටී.’

42.31%
17.27%
32.76%