October 31, 2024

අධිකරණය විසින් කරන ලද නියමයකට අනුව අපරාධ නඩුවට පෙනීනොසිටීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිඥවරයකුට වසර පහක කාලයක් සඳහා නීති වෘත්තිය තහනම් කර ඇත.

මෙම තීන්දුව මගින් නියමිත නීතිඥවරුන් ලෙස අධිකරණය විසින් පවරන ලද වැදගත් වගකීම් හා ආචාරධර්මීය බැඳීම් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්ථාවරය අවධාරණය කරයි.

නියමිත නීතිඥවරුන්(Assigned Counsel) යනු පෞද්ගලික නීතිඥවරයකු සේවයේ යෙදවීමට හැකියාවක් නොමැති පුද්ගලයන් නියෝජනය කිරීම සඳහා අධිකරණය විසින් පත් කරනු ලබන නීතිඥවරුන් වේ.

විනිසුරුවරුන් එස්. තුරෛරාජා, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන පිරිසගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් නීතිඥ ආර්.ඩී. රණවීර වෙත වසර පහක කාලයක් සඳහා මෙලෙස නීති වෘත්තියෙන් තහනම් කිරීමට තීරණය කර ඇත.

වගඋත්තරකරු තම සේවාදායකයාගේ නඩුව හැසිරවීමේදී නැවත නැවතත් නොසැළකිලිමත්භාවය පෙන්නුම් කර ඇති අතර, අවසානයේ නීතිය යටතේ අපේක්ෂිත අවශ්‍ය නීතිමය කටයුතු හා නියෝජනය සැපයීමට අසමත් වූ බව අනාවරණය වීමෙන් පසු මෙම තීන්දුව ලබා දී ඇත.

වගඋත්තරකාර නීතිඥවරයාට එරෙහිව 2022 ජනවාරි 12 සහ 2022 දෙසැම්බර් 20 දිනැති පැමිණිල්ලකට අනුව, නියමිත නීතිඥවරයා ලෙස පත්කරන ලද අපරාධ නඩුවකදී, මහාධිකරණය ඉදිරියේ පෙනීනොසිටීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් විසින් මෙම නඩුව ගොනු කර ඇත.

එම පැමිණිල්ල මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් අග්‍රවිනිශ්චයකාරතුමා වෙත යොමුකර ඇත.

වගඋත්තරකරු නීතිඥවරයා වෘත්තීය කරුණක් සම්බන්ධයෙන් නියමිත උනන්දුවක් දැක්වීමට අසමත් වී ඇති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 136 වන වගන්තිය යටතේ සාදන ලද 1988 ශ්‍රේෂ්ඨාධිකරණ (නීතිඥවරුන්ගේ පැවැත්ම හා ආචාර ධර්ම) රීතිවල 10, 15, 16, 18(අ), 50 සහ 61 රීතිවලට පටහැනි ලෙස ක්‍රියාකර ඇති බවට චෝදනා එල්ල කර තිබේ.

මේ අතර, වගඋත්තරකරු වරද පිළිගෙන 2024 ඔක්තෝබර් 16 දිනැති දිවුරුම් ප්‍රකාශයකින් සනාථ කරන ලද දඬුවම අඩුකිරීමේ ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.

“අධිකරණය ඉදිරියේ පෙනීසිටීමට නොහැකි ඕනෑම නීතිඥවරයෙකු තමා වෙනුවට පෙනී සිටීමට සුදුසු නියෝජිතයකු පත් කිරීමට අවශ්‍ය පියවර ගත යුතුය. එසේ කළ නොහැකි නම්, තම සේවාදායකයාට එවැනි අසමත්වීමෙන් අගතියක් නොවන පරිදි, හැකි ඉක්මණින් එවැනි අසමත්වීමට හේතු පිළිබඳව අධිකරණය දැනුවත් කිරීමට පියවර ගත යුතුය” යැයි තුරෛරාජා විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත.

42.31%
17.27%
32.76%