October 31, 2024

බලපත්‍ර සහිත තුවක්කුවකින් එකම පවුලේ සිවුදෙනකුට වෙඩිතබා බරපතළ තුවාල සිදුකර ඔවුන් මරාදැමීමට තැත්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි විත්තිකාර අඹු-සැමි යුවළක් එකී චෝදනාවෙන් නිදොස්කොට නිදහස්කර මුදාහරින ලෙස අනුරාධපුර මහාධිකරණ විනිසුරු නලීන් ද හේවාවසම් නියෝග කළේය.

මෙසේ නිදොස්කොට නිදහස්කර මුදාහැරියේ ගලෙන්බිඳුණුවැව මාවතවැව පදිංචි එන්. සුගතදාස සහ එම්. සීතාවතී නමැති අඹු-සැමි යුවළය.

2012 වසරේ පෙබරවාරි මස 4 වැනි දින හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශයට අයත් ගලෙන්බිඳුණුවැව මාවතවැවදී විත්තිකරුවන් මෙම වරද සිදුකර ඇති බවට නීතිපතිවරයා විසින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 32 සහ 300 වන වගන්ති ප්‍රකාරව විත්තිකරුවන්ට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකොට තිබිණි.

විත්තිකරුවන් ඔවුන්ට එරෙහිව තිබූ චෝදනාවලින් නිදොස්කොට නිදහස්කර මුදාහැරීමට මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කළේ, පළමු චූදිත පැමිණිලිකරුවන්ට වෙඩිතබා ඇත්තේ ඔවුන්ගේ පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක කරමින් බවට නිගමනය කරමිනි.

ඒ අනුව විත්තිකරුවන් වරදක් කර නොමැති බවටද මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කළේය.

විත්තිකරුවන් නිදොස්කොට නිදහස්කර මුදාහැරීමට නියෝග කරමින් මහාධිකරණ විනිසුරුවරයා පැමිණිල්ලේ 1 සිට 4 දක්වා සාක්ෂිකරුවන්ට නියෝග කළේ විත්තිකාර අඹු-සැමි යුවළට වෙන් වෙන් වශයෙන් රුපියල් විසිපන්දහස බැගින් වන්දි මුදල් ගෙවන ලෙසයි.

එම වන්දි මුදල් ගෙවීම පැහැරහරින්නේ නම් 1 සිට 4 දක්වා සාක්ෂිකරුවන්ට වෙන් වෙන්ව මාස හය බැගින් සිරදඬුවම් ද නියම කෙරිණි.

ඊට අමතරව වෙන් වෙන් වශයෙන් රුපියල් පන්දහස බැගින් රජයේ ගාස්තු ගෙවන ලෙසටද සාක්ෂිකරුවන්ට තවදුරටත් නියෝග කරනු ලැබීය.

මෙසේ වන්දි සහ රජයේ ගාස්තු ගෙවන ලෙස නියම කළේ හිටපු පොලිස් සැරයන්වරයකු වන ආර්. එම්. රෝහණ ප්‍රියන්ත, ජේ. චමින්ද රෝහණ ජයරත්න, ඩී. දිලිප් දේවේන්ද්‍ර සහ එම්. ජයරත්න යන පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ටය.

වෙඩිතැබීමට යොදාගෙන ඇති බලපත්‍ර සහිත තුවක්කුව සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව විමසීමක් සිදුකොට නිසි නියෝගයක් ලබාදෙන ලෙසට මහාධිකරණ විනිසුරුවරයා කහටගස්දිගිලිය මහෙස්ත්‍රාත්වරයාට නියෝග කළේය.

විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර මුදාහැරීමට සහ විත්තිකරුවන්ට වන්දි ගෙවන ලෙස පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට නියෝග කරමින් මහාධිකරණ විනිසුරු නලීන් ද හේවාවසම් ලබාදී ඇති තීන්දුවේ මෙසේද සඳහන්ය.

මෙම නඩුවට අදාළව ඉදිරිපත් වී ඇති කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී චූදිතයන්ට අධිචෝදනා පත්‍ර ගොනුකිරීමට හේතු පාදක වී ඇති සිද්ධියේදී 1 සිට 4 දක්වා පැමිණිල්ලේ සාක්ෂිකරුවන් නීතිවිරෝධී ජනරාශියක සාමාජිකයන්ව සිටිමින් පළමු චූදිත වන එන්. සුගතදාස සහ දෙවැනි චූදිත වන එම්. සීතාවතී යන අයට, ඔවුන්ගේ දරුවන්ට සහ සෙසු අයවලුන්ට පහරදී ඇති බවට කරුණු අනාවරණ වී ඇත.

ඊට අමතරව පළමු සහ දෙවැනි චූදිතගේ නිවෙසට ප්‍රහාර එල්ල කොට ඇති බවටත් පළමු චූදිතට අයත් වෑන් රථයකට ගිනිතබා විනාශ කර ඇති බවටත් කරුණු අනාවරණ වී තිබේ.

එකී ක්‍රියාදාමයේදී 1 සිට 4 දක්වා පැමිණිල්ලේ සාක්ෂිකරුවන්, කොටස්කරුවන් ලෙස කටයුතු කර ඇති බවද සාක්ෂි මඟින් අනාවරණය වී ඇත.

ඒ අනුව චූදිතයන් මෙම වෙඩිතැබීම සිදුකර ඇත්තේ පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක කරමින් බවට අනාවරණය වී ඇත.

පැමිණිල්ල නිස්සාර සහ පීඩාකාරී එකක් බවද අදාළ නඩු තීන්දුවේ තවදුරටත් සඳහන්ය.

පැමිණිල්ලේ 1 සිට 4 දක්වා සාක්ෂිකරුවන් විත්තිකාර අඹු-සැමි යුවළගේ නිවෙසට ප්‍රහාර එල්ල කර දේපළවලට හානිකර වෑන් රථයකටද ගිනි තබා විනාශ කර ඇත්තේ ප්‍රදේශයේ මරණාධාර සමිතියක ඇති වූ ආරවුලක් පාදක කරගෙන බව අධිකරණ නඩු විභාගයේදී කියැවිණි.

ගලෙන්බිඳුණුවැව පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන මෙහෙයවා තිබිණි.

මෙම නඩුවේ ලඝු නොවන මූලික විභාගය අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති අතර නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට අධිචෝදනා ගොනුකිරීමෙන් අනතුරුව වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර මහාධිකරණයට යොමුකර තිබිණි.(මව්බිම)

42.31%
17.27%
32.76%