October 29, 2024

අලි මිනිස් ගැටුම මැඩපැවැත්වීමේ අරමුණින් නිර්මාණය කර තිබෙන අලි අගල්වල වර්තමාන තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නියෝග කර ති⁣බේ.

අලි මිනිස් ගැටුම නිරාකරණය කිරීමේ අරමුණින් ඉකුත් කාලයේ අලි අගල් කැපීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට වනජීවී අමාත්‍යාශය විසින් ගෙන තිබූ තීරණයට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් එච්.එම්.ඩී. නවාස්, අර්ජුන ඔබේසේකර සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.

එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් වර්තමානයේ රට තුළ පවතින අලි අගල් පිළිබඳව තම සංවිධානය සතුව තොරතුරු කිසිවක් නොමැති බව පෙන්වාදෙන ලදී.

ඒ අනුව අලි අගල්වල වර්තමාන තත්ත්වය පිළිබඳ සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළේය.

ඉන් අනතුරුව පෙත්සම ලබන මාර්තු මස 27 වනදා කැඳවීමටද නියමවිය.

පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රය කියාසිටින්නේ මෙම අලි අගල් කැපීමේ වැඩසටහන මුවාවෙන් මහා පරිමාණ වැලි ජාවාරම් සිදුවන අතර අලි ඇතුන් දරුණු අනතුරුවලට භාජනයවීමේ තත්ත්වයක් උද්ගත වී තිබෙන බවයි.

මෙම අලි අගල් කැපීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබිණි.

42.31%
17.27%
32.76%