October 26, 2024

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති කාර්මෙන් මොරේනෝ (H.E. Carmen Moreno) ප්‍රමුඛ යුරෝපා සංගමයේ නියෝජිත පිරිස ඊයේ (25) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවිය.

ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා විසින් මෙහිදී යුරෝපා සංගම් නියෝජිත පිරිස දැනුවත් කර ඇති අතර, සංචාරකයන්ගේ සහ ශ්‍රී ලාංකික ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෑතකාලීනව ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව ද දැනුවත් කර තිබේ.

ප්‍රධාන සංචාරක කලාප ආශ්‍රිතව ආරක්ෂක ප්‍රොටෝකෝල සහිත නීතිරීති ක්‍රියාත්මක කර ඇති බවත්, හදිසි සේවා යොදවා ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ තීරණාත්මක හවුල්කරුවෙකු වන අතර, එය ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම අපනයන සහ සංචාරක වෙළඳපොළ ලෙසත්, තුන්වැනි විශාලතම ආනයන වෙළඳපොළ ලෙසත් කටයුතු කරයි.

ශ්‍රී ලංකාව සඳහා සිය වෙළඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම, යුරෝපා සංගමය තුළ රැකියා අවස්ථා වැඩිකිරීම සහ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා සහාය දැක්වීමට ඇති කැපවීම යුරෝපා සංගම් නියෝජිතයන් විසින් මෙහිදී ජනාධිපතිවරයා හමුවේ තහවුරු කර තිබේ.

එසේම, දැනුම හුවමාරු කරගැනීම, අධ්‍යාපනය, සමාජ ආරක්ෂණය සහ දූෂණ විරෝධී ප්‍රයත්නයන්හි නව යාන්ත්‍රණ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන බවට ද යුරෝපා සංගමය ජනාධිපතිවරයා හමුවේ සහතික වූ බව අජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

වෘත්තීය අධ්‍යාපනය, සමුද්‍රීය කටයුතු, ආයෝජන, සාමය සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර ශක්තිමත් කිරීම සඳහා යුරෝපා සංගමයේ කැපවීම මෙහිදී නියෝජිත පිරිස අවධාරණය කර ඇති අතර, මෙම පොදු ප්‍රමුඛතා ඉදිරියට ගෙනයෑම සඳහා සමීප සහයෝගීතාවයෙන් කටයුතු කරන බවට ද ඔවුන් සහතිකවී තිබේ.

පසුගිය ජනාධිපතිවරණය සාමකාමීව පැවැත්වීම සම්බන්ධයෙන් ද නියෝජිත පිරිස මෙහිදී ශ්‍රී ලංකාවට ප්‍රශංසා කර ඇති අතර, පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකට සුබපතමින් සිය රටවල ජනාධිපතිවරුන් විසින් එවනු ලැබු සුබපැතුම් පණිවිඩ නෙදර්ලන්තය, ප්‍රංශය සහ රුමේනියාව යන රටවල තානාපතිවරු ජනාධිපතිවරයා වෙත පිළිගන්වා ඇත.

ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් (Felix Neumann) , ඉතාලි තානාපති ඩැමියානෝ ෆ්‍රැන්කොවිග් (Damiano Francovigh), රුමේනියා තානාපති ස්ටෙලුටා ආහයර් (Steluta Arhire), ප්‍රංශ තානාපති මාරි-නොයිල් ඩුරිස් (Marie-Noelle Duris) සහ නෙදර්ලන්තයේ නියෝජ්‍ය තානාපති ඉවාම්ස් රට්ජන්ස් (Iwams Rutjens) යන පිරිස යුරෝපා සංගමය නියෝජනය කරමින් මෙම අවස්ථාවට එක්ව තිබේ.

42.31%
17.27%
32.76%