October 26, 2024

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වැනි වගකිවයුතු ආයතනයක් තම අධිකරණය විසින් ලබාදුන් නියෝගය පවා නොතකා අහංකාර ලෙස කටයුතු කරන්නේ නම් විත්තිකරුවන් නිදහස් කිරීමට තම අධිකරණයට සිදුවන්නේ යැයි පෙන්වාදෙමින් කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඊයේ (25දා) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව නියෝජනය කරමින් පැමිණිල්ල මෙහෙයවූ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසිත ඇන්තනිට අවවාද කළේය.

විත්තිකරුවන්ට එරෙහිව තම අධිකරණය හමුවේ ගොනුකර ඇති චෝදනා පත්‍රය සංශෝධනය කරන ලෙසට පෙර නඩු දිනයකදී තම අධිකරණය අල්ලස් කොමිෂන් සභාවට නියෝග කරනු ලැබුවේ එකී චෝදනා පත්‍රය මගින් විත්තිකරුවන්ට එකම වරදට දෙවරක් චෝදනා නගා තිබීම නිසා බවත්, තම අධිකරණය එකී චෝදනා මනාව නිරීක්ෂණය කර විත්තියේ මූලික විරෝධතා ද සළකා බලමින් ලබාදුන් එම නියෝගය අනුව කටයුතු නොකරන බව පවසන අල්ලස් කොමිෂන් සභාව අහංකාර ලෙස කටයුතු කරන්නේ නම්, ඉදිරි නඩු දිනයේදී විත්තිකරුවන් නිදහස් කිරීමට පියවර ගන්නා බවත් ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා පැමිණිල්ල මෙහෙය වූ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට වැඩිදුරටත් අවවාද කළේය.

පැමිණිල්ල ඉදිරිපත් කරනු ලබන චෝදනා ඉදිරියට පවත්වාගෙන යෑමට නොහැකි බවට අධිකරණයට පෙනීයන්නේ නම් එය සංශෝධනය කරන ලෙසට නියෝග කිරීම අධිකරණ සම්ප්‍රදාය බවත්, එකී සම්ප්‍රදාය අනුගමනය කිරීමට පැමිණිල්ල බැඳී ඇති බවත් විනිසුරුවරයා පෙන්වාදුන්නේය.

මහින්ද රාජපක්ෂ රාජ්‍ය පාලන සමයේ හිටපු ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි පුද්ගලයන් 319 දෙනකු වරාය අධිකාරියේ සේවයට අනුයුක්ත කිරීමෙන් චේතනාන්විතව අයුතු වාසියක් ලබාගැනීමට ඉඩහැරීම සහ එමගින් අල්ලස් පනත යටතේ ගැනෙන දූෂණය නමැති වරද සිදුකිරීම ඇතුළු චෝදනා 10ක් යටතේ ශ්‍රි ලංකා වරාය අධිකාරියේ හිටපු සභාපති ප්‍රියත් චන්ද්‍ර වික්‍රම, ආර්. සංජය කුමාර චන්ද්‍රසේකර හා නිහාල් කැප්පිටිපොළ යන තිදෙනාට එරෙහිව එම නඩුව පවරා තිබිණි.

එමගින් රජයට රුපියල් මිලියන 65ක පාඩුවක් සිදුකිරීම ඇතුළු චෝදනා ද විත්තිකරුවන්ට එරෙහිව නගා තිබිණි.

එම නඩුව ලබන 8 වැනිදා යළි කැඳවීමට දින නියම කළේය.

42.31%
17.27%
32.76%