October 25, 2024

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ සිද්ධිය සම්බන්ධයෙන් සෙවීමට පත්කළ කමිටු පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලිපියක් නිකුත් කර තිබේ.

එම ලිපියේ දැක්වෙන්නේ, පාස්කු ප්‍රහාරයේ සිද්ධිය සම්බන්ධයෙන් සෙවීමට තමන් කමිටු පත්කළේ ‍රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන අයගෙන් පළිගැනීමට හෝ ඔවුන් පිළිබඳව විභාග කිරීමට නොවන බවයි.

පාස්කු ප්‍රහාර සිද්ධිය දේශපාලනීකරණය නොකළ යුතු බවට ශිර්ෂයෙන් නිකුත් කළ ලිපියේ දැක්වෙන්නේ, චැනල් 4 නාලිකාව ඔස්සේ විකාශය වූ හෙළිදරව්ව පිළිබදව කරුණු සොයාබැලීමට කමිටු දෙකක් පත්කළ බවයි .

එම කමිටුවලට පත්කළ කිසිවකුත් තමන් පෞද්ගලිකව නොහඳුනන බවත්, එම කමිටු සදහා නිතිපති දෙපාර්තමේන්තුවේ සහාය ලබාදීමට ද කටයුතු කළ බවත් හිටපු ජනාධිපතිවරයා සිය ලිපියෙන් පවසයි.

අල්විස් කමිටු වාර්තාව එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ වත්මන් මහජන ආරක්ෂක අමාතයංශයේ ලේකම් රවී සෙනෙවිරත්නගෙන්, අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගෙන් පළිගැනීමට හෝ විභාග කිරීමට සකස් කළ වාර්තාවක් නොවන බවද එම ලිපියේ වැඩිදුරටත් දැක්වේ.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, නන්දන මුණසිංහ, ලලිත් පතිනායක, අබ්දුල් ලතීෆ්, රවී සෙනෙවිරත්න, දේශබන්දු තෙන්නකෝන් ඇතුළු නිලධාරීන්ට නීත්‍යානූකූලව පියවර ගන්නා ලෙස අල්විස් කමිටු වාර්තාවෙන් නිර්දේශ ලබාදුන් බව හිටපු ජනාධිපතිවරයා සිය ලිපියේ සඳහන් කර ඇත.

එබැවින් මෙම වාර්තාව රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකරට විරුද්ධව සැකසූ වාර්තාවක් බවට අර්ථ දැක්වීම පදනම් විරහිත බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙයි.

හිටපු ජනාධිපතිවරයා පවසන්නේ, මේ වන විට ඉමහත් ආන්දෝලනයට තුඩු දී තිබෙන මෙම පාස්කු වාර්තාව පසුගිය ජනාධිපතිවරණ සමයේ තමන් අතට ලැබුනු නමුත් පාස්කු ප්‍රහාරය දේශපාලනයට ඈදාගැනීමට ඇති අකමැත්ත හේතුවෙන් එම වාර්තා ප්‍රසිද්ධි පත්නොකළ බවයි.

කාදිනල් හිමියන් තමන් සම්බන්ධව සිදුකල සියලු ප්‍රකාශ පදනම් විරහිත බවත්, පාස්කු වාර්තා සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් සිදුකළ යුත්තේ රදගුරු සම්මේලනය බවත් හිටපු ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වාදෙන්නේ පාස්කු වාර්තා ගෙනැහර දක්වමින් දේශපාලනය නොකරන ලෙස සෑම පාර්ශ්වයකින්ම තමන් ඉල්ලා සිටින බවයි.

42.31%
17.27%
32.76%