October 25, 2024

1964 සැප්තැම්බර් 18 වැනිදා සිට ලංකා බැංකුවේ මෙට්‍රොපොලිටන් ශාඛාවේ සුරක්ෂිතව තැන්පත් කර ඇති මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ භූ විද්‍යා අංශයේ මැණික් ගල් 271ක වටිනාකම තක්සේරු කර නොමැති බව 2023 වසරේ ජාතික විගණන වාර්තාවෙන් හෙළිදරව් වී තිබේ.

1993 වසරේ සිදුකළ භෞතික පරීක්‍ෂණයෙන් අනතුරුව එක් මැණික් ගලක් කෘත්‍රිම ගලක් බව අනාවරණය වී ඇති අතර එය භූ විද්‍යා අංශයේ තැන්පත් කර ඇත.

“මෙම ඉතිරි මැණික් 271හි වටිනාකම ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මැණික් විද්‍යාඥයකුගේ සහාය ඇතිව තක්සේරු කර නොතිබිණි. මැණික් ගල් එකතුවේ වටිනාකම තක්සේරු කරන ලෙස මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට ලිඛිතව දන්වා ඇති අතර, අදාළ බැංකු පරිශ්‍රයේ මැණික් ගල් පරීක්ෂා කිරීම සහ තක්සේරු කිරීම සිදු කළ නොහැකි බවත්, ඒවා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ රසායනාගාර වෙත යොමුකරන ලෙසත් දන්වා ඇත” යනුවෙන් විගණන වාර්තාවේ සඳහන්වේ.

එසේම දෙපාර්තමේන්තු විගණන හා කළමනාකරණ කමිටු රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා කර ඇති අතර, එහිදී භාණ්ඩාගාර නියෝජිතවරයා ප්‍රකාශ කර ඇත්තේ, මෙම ද්‍රව්‍ය තක්සේරු කිරීම සඳහා බාහිර ආයතනයකට ලබාදීම සුදුසු නොවන බවයි.

මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතියෙන් පසු ඉදිරි වැඩකටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බව දන්වා ඇත.(Daily Mirror)

42.31%
17.27%
32.76%