October 23, 2024

ත්‍රස්තවාදී තර්ජන බව පවසමින් ශ්‍රී ලංකාවේ ආරුගම් බොක්ක ප්‍රදේශයෙන් සහ දිවයිනේ දකුණේ හා බටහිරින් පිහිටි අනෙකුත් වෙරළ තීරවලින් වහාම ඉවත් වන ලෙස ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක කවුන්සිලය ඊශ්‍රායල ජාතිකයන්ගෙන් ඉල්ලා සිටී.

“මෙම ප්‍රදේශවලින් පිටව යන අයට රට හැරයෑමට උපදෙස් දෙනු ලැබේ, නැතහොත් අවම වශයෙන් ප්‍රාදේශීය ආරක්ෂක හමුදාවන් ඉහළ මට්ටමක සිටින කොළඹ අගනුවරට යන ලෙස දැනුම්දෙමු” ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක කවුන්සිලය පවසයි.

ඊශ්‍රායල ජාතිකයන් රටේ සෙසු ප්‍රදේශවලට ගමන් කිරීම කල්දැමිය යුතු බව අනතුරු ඇඟවීමේ සඳහන් වේ. ඔවුන් ඊශ්‍රායල ජාතිකයන් බව හඟවන සංඥා සඟවා විශාල වශයෙන් රැස්වීමෙන් වළකින ලෙස ද ඔවුන්ගෙන් ඉල්ලා ඇත.

ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සමීප සම්බන්ධතා පවත්වන බව ද ඊශ්‍රායල රජය පවසයි.

සර්ෆින් ක්‍රීඩාව සඳහා ජනප්‍රිය ගමනාන්තයක් වන ආරුගම් බොක්ක ප්‍රදේශය ඊශ්‍රායල සංචාරකයන්ට තර්ජනයක් විය හැකි බවට ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය පුරවැසියන්ට කළින් අනතුරු ඇඟවූ අතර, සංචාරකයන් සඳහා වැඩි ආරක්ෂාවක් ලබාදීමට පියවර ගන්නා බව පොලිසිය පවසා ඇත.

නැඟෙනහිර ආරුගම් බොක්කෙහි “ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට අනතුරු ඇඟවීමේ විශ්වසනීය තොරතුරු ලැබී ඇති” බව අමෙරිකාව තානාපති කාර්යාලය පවසයි.

42.31%
17.27%
32.76%