October 23, 2024

දැනට අධිකරණය මගහරිමින් සිටින රාජිත අසන්ත නැමැත්තකුගේ ඇපකරුවන් තිදෙනා වෙත කොළඹ මහාධිකරණය රුපියල් මිලියන 09ක දඩයක් පනවා ඇත

විත්තිකරු වන රාජිත අසන්තට මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේ චෝදනා එල්ලවන්නේ, හෙරොයින් ජාවාරම හරහා ලබාගෙන ඇති රු. මිලියන 10 කට වැඩි වත්කම් හා දේපල හෙළිනොකිරීම සම්බන්ධවය.

විත්තිකරු මීට පෙර අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් ඇපකරුවන් ලෙස තුෂාර ඉන්ද්‍රජිත්, අමිල ප්‍රනාන්දු සහ මොහොමඩ් ඉක්‍රම් යන තිදෙනා පෙනී සිටියහ.

මෙම පුද්ගලයන් තිදෙනා රුපියල් මිලියන 10 බැගින් ශරීර ඇපවලට අත්සන් කර ඇති බව අධිකරණයට දන්වා සිටියේය.

කෙසේවෙතත් විත්තිකරු සිය නඩු විභාගය මගහැර සිටීම හේතුවෙන් ඇපකරුවන් තිදෙනා අධිකරණය හමුවට කැඳවා තිබිණි.

පසුගියදා පැවැති නඩු විභාගයේදී කොළඹ මහාධිකරණ විනිසුරුවරයා පෙන්වාදුන්නේ සැකකරුවකු හෝ විත්තිකරුවකු වෙනුවෙන් ඇපකරුවකු ලෙස පෙනීසිටින්නේ නම් විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට අදාළ ඇපකරු නීතියෙන් බැඳී සිටින බවයි.

ඒ අනුව, විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට ඇපකරුවන් තිදෙනා අපොහොසත් වීම හේතුවෙන් එක් අයෙකුට මිලියන 03 බැගින් රු. මිලියන 09 ක දඩයක් නියම කිරීමට විනිසුරුවරයා නියෝග කළේය.

42.31%
17.27%
32.76%