October 22, 2024

පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු සඳහා ඉකුත් ආණ්ඩුව පත්කළ කමිටුවල වාර්තා දෙක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් ප්‍රසිද්ධ කිරීම සහ ඒ සම්බන්ධයෙන් කතෝලික සභාව වෙත එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද අදහස් පළකළහ.

ඒ, උන්වහන්සේ විසින් කැඳවනු ලැබූ විශේෂ ජනමාධ්‍ය හමුවකදීය.

අදාළ කමිටු වාර්තා දෙක සගවාගෙන සිටි බවටත් ජනතාවට ඒ පිළිබඳ නොපැවසූ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල එල්ලකළ චෝදනාව සම්බන්ධයෙන් ද එහිදී ජනමාධ්‍යවේදියෙකු අගරදගුරු හිමිපාණන්ගෙන් විමසීමක් කළේය.

ඊට පිළිතුරු දෙමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුවේ, වාර්තා දෙක යොමුකර තිබුණේ තමන් වෙත නොව ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලයේ සභාපති හැරල්ඩ් ඇන්තනී පෙරේරා පියතුමන් වෙත බවයි.

ඉන් පළමු වාර්තාව ඉකුත් සැප්තැම්බර් 18 වැනිදා එනම් ඉකුත් ජනාධිපතිවරණයට දින 03ක් ඉතිරිව තිබියදී එවා තිබූ, බවත් රහසිගත වාර්තා ලෙස ලිපියකින් සඳහන් කර තිබූ බවත් උන්වහන්සේ පැවැසූහ.

රහසිගත වාර්තා ලෙස ඒවා යොමුකර තිබූ බැවින් වාර්තා පිළිබඳ හෙළිදරව් කිරීමට අවස්ථාවක් හිමිනොවූ බව ද අගරදගුරු හිමිපාණෝ පැවැසූහ.

මේ වනතුරුත් එම වාර්තා රහසිගත නොවන බවට කිසිඳු පාර්ශවයක් දැනුම් දී නොමැති බව ද උන්වහන්සේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළහ.

එහෙත් උදය ගම්මන්පිල විසින් රඟදක්වන නාටකය හේතුවෙන් එම වාර්තාවල රහස්‍යගතභාවය බිඳවැටී ඇති හෙයින් ඒ පිළිබඳ අදහස් දක්වන බවට කතෝලික සභාව තීරණය කළ බවත් එම ජනමාධ්‍ය හමුවේදී අගරදගුරු හිමිපාණෝ පෙන්වා දුන්නෝය.

එම ජනමාධ්‍ය හමුවේදී තවත් ප්‍රශ්නයක් යොමුකරමින් මාධ්‍යවේදියකු අගරදගුරු හිමිපාණන්ගෙන් විමසා සිටියේ ශානි අබේසේකර සහ රවී සෙනෙවිරතන යන නිලධාරීන් විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශනය නිසිපරිදි සිදුකරනු ඇති බවට විශ්වාසයක් කතෝලික සභාවට පවතින්නේ ද යන්නයි.

මෙම විමර්ශන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නේ එම නිලධාරීන් දෙදෙනා සමග නොවන බවත් විමර්ශන සම්බන්ධයෙන් ඉල්ලීම යොමුකර ඇත්තේ රටේ ජනාධිපතිවරයාට බවත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ එහිදී පැවැසූහ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිදහස් හා ස්වාධීන විමර්ශනයක් ආරම්භ කරන බවට ජනාධිපතිවරයා කතෝලික සභාවට පොරොන්දුවක් ලබා දී ඇති බව ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

එබැවින් ජනාධිපතිවරයා ඒ සඳහා පත්කරන නිලධාරීන් සම්බන්ධයෙන් යම් යම් දේ පැවසීමට කතෝලික සභාවට අයිතියක් නොමැති බව ද මෙහිදී ප්‍රකාශ කෙරිණි.

දැනට විමර්ශනයක් සිදුවන බව දැනගන්නට ලැබී ඇති බව ද උන්වහන්සේ පැවැසූහ.

දැනට සිදුවන විමර්ශනවල ක්‍රියාවලිය පිළිබඳ කතෝලික සභාව සෑහීමකට පත්වන්නේ ද යන්න සම්බන්ධයෙන්දැයි ජනමාධ්‍යවේදියෙකු එහිදී විමසීමක් කළේය.

එහිදී අගරදගුරු හිමියන් පැවසුවේ, ඒ සම්බන්ධයෙන් කතෝලික සභාවට නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර නොමැති බැවින් අදහස් ප්‍රකාශ කිරීමක් සිදුකළ නොහැකි බවයි.

කතෝලික සභාව සතුව ඇති තොරතුරු නිලධාරීන්ට ලබාදීම පමණක් සිදුකරන බව ද උන්වහන්සේ එහිදී පැවැසූහ.

විමර්ශන‍යේ ප්‍රථිපල ඉදිරියේදී දැනුම්දෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටින බව ද අගරදගුරු හිමියන් ප්‍රකාශ කළහ.

42.31%
17.27%
32.76%