October 22, 2024

පළාත් සභා යාන්ත්‍රණය විධිමත් කිරීම සඳහා යෝජනාවලියක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පළාත් ආණ්ඩුකාරවරුන්ට දැනුම්දී තිබේ.

පළාත් සභා යටතේ සෞඛ්‍යය සහ අධ්‍යාපන සේවාවන්හි පවතින පුරප්පාඩු පිළිබඳව විශේෂ අවධානය යොමුකරමින් ඊට සාධනීය විසඳුම් ලබාදීමටද තීරණය කර ඇත.

පවතින සංක්‍රාන්තික කාලය තුළ ජනතාවගේ ජීවන තත්ත්වය පහසු කිරීම සඳහා පළාත් සභාවලින් සිදුකළ හැකි උපරිම සේවාව ලබාදීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් පළකර ඇත්තේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (22) පෙරවරුවේ පළාත් ආණ්ඩුකාරවරු සමඟ පැවැති සාකච්ඡාවකදීය.

ජනතාවගේ ජීවිතය පහසු කිරීම සඳහා ආර්ථික සහ සමාජීය වශයෙන් කළ හැකි සියලුමැදිහත්වීම් පළාත් සභාවලින් සිදුකරන ලෙස මෙහිදී ජනාධිපතිවරයා පළාත් ආණ්ඩුකාරවරුන්ට උපදෙස් ලබාදී ඇත.

නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කිරීම සඳහා ලැබී තිබෙන ජනවරම පිළිබඳ සිහිපත් කර ඇති ජනාධිපතිවරයා ජනතාව තැබූ එම විශ්වාසය පළුදු නොවන ලෙස ක්‍රියාකරන ලෙසද මෙහිදී අවධාරණය කර තිබේ.

රජයේ දේපළ භාවිත කිරීමේදී පෙර පැවති නරක පූර්වාදර්ශවලින් මිදී කටයුතු කරන ලෙසත් ගුණාත්මක රාජ්‍ය සේවාවක් සඳහා කැපවෙන ලෙසත් ජනාධිපතිවරයා ආණ්ඩුකාරවරුන්ට පවසා ඇත.

උතුර නැගෙනහිර ඉඩම් සම්බන්ධයෙන් සහ පළාත් සභා මුදල් භාවිතය සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්කර තිබේ.

කන්තලේ ගොවිජනතාවට ලබාදුන් ඉඩම් පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානයට යොමුකර ඇත.

උතුර පළාත් ආණ්ඩුකාර නාගලිංගම් චේතනායහන්, සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර, ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර, දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්ර්, මධ්යකම පළාත් ආණ්ඩුකාර සරත් බණ්ඩාර සමරසිංහ අබයකෝන්, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත කුමාර විමලසිරි යන පිරිස මෙම අවස්ථාවට සහභාගිවී තිබේ.

42.31%
17.27%
32.76%