October 22, 2024

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් ඉකුත් ආණ්ඩුව සමයේ පත්කළ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කමිටු වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීම සහ මේ වනවිට ඒ සම්බන්ධයෙන් සමාජයේ පවතින මත සහ විපක්ෂ කණ්ඩායම් රජයට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවේදී අදහස් පළකෙරුණි.

ඒ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් විසිනි.

එහිදී අමාත්‍යවරයා කරුණු රැසක් සම්බන්ධයෙන් රජය වෙනුවෙන් අදහස් පළකළ අතර, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ඉකුත් රජය මගින් පත්කෙරුණු කමිටු ද්විත්වය සහ ඒ සඳහා සාමාජිකයින් පත්කර ඇති ආකාරය සම්බන්ධයෙන් ද අදහස් පළකළේය.

එහිදී ඔහු පැවසුවේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වාර්තා ඉදිරිපත් කර ඇත්තේ, විමර්ශන කමිටු දෙකක් මිස ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් නොවන බවයි.

ජනාධිපති කොමිෂන් සභාවක් යනු අර්ධ අධිකරණ බලයක් සහිත කොමිසමක් බව ද ඔහු පැවැසුවේය.

පාස්කු ප්‍රහාර‍යේ ‘සුපර් ස්ටාර්’ වීමට උත්සහ කරන උදය ගම්මන්පිල සතුව ඇත්තේ හුදෙක් කමිටු වාර්තා දෙකක් බව ද අමාත්‍යවරයා පැවැසීය.

එමෙන්ම අමාත්‍ය විජිත හේරත් පැවසුවේ, වතමන් ආණ්ඩුව සිදුකරන විමර්ශනවලදී අදාළ වාර්තාවල පවතින සාධනීය කරුණු විමර්ශනයට ගන්නා බවයි.

කෙසේවෙතත්, අදාළ කමිටුවල සභාපතිධූර සඳහා සිදු කර ඇති පත්කිරීම් සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවේදී අදහස් පළකළේය.

ඔහු එහිදී පැවසුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඉදිරිපත් කළ වාර්තාව එළිද්ක්වූ කමිටුවේ සභාපති ලෙස කටයුතු කර ඇත්තේ කෑගල්ලේ හිටපු මහාධිකරණ විනිසුරු ඒ.එන්. ජයකි ද අල්විස් බවයි.

ඒ.එන්. ජයකි ද අල්විස් 2023 සැප්තැම්බර් 17 වැනිදා විශ්‍රාම ගිය බවත්, ඊට පෙර අභියාචනාධිකරණයේ ඇතිවූ පුරප්පාඩුවකට ඇයව පත් කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව ද අමාත්‍යවරයා පැවැසුවේය.

ඒ සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසම වාර්තාවක් ලබාදී ඇති බවත්, එම වාර්තාවේ දැක්වෙන කරුණු අනුව ඒ.එන්. ජයකි ද අල්විස් 1998.07.01 දින අධිකරණ නිලධාරියකු ලෙස පත්ව ඇයගේ පරිවාස කාලය තුළදී එල්ල වූ විෂමාචාර චෝදනා හේතුවෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් 2000.04.27 වන දින සේවය අවසන් කර ඇති අතර එදිනම ඇය විසින් කරන ලද අභියාචනයක් සළකා බලා 2000.06.04 දින සිට සේවයෙන් ඉල්ලා අස්වීමට අනුමැතිය ලබා දී ඇති බව ද අමාත්‍ය විජිත හේරත් පැවැසුවේය.

කෙසේවෙතත්, සේවයෙන් ඉල්ලා අස්වී වසර 06කට පසුව ඇයව යළිත් නව බඳවාගැනීමක් ලෙස පෙර සේවයට අදාළව ජ්‍යෙෂ්ඨත්වය සඳහා කිසිඳු හිමිකම් පෑමක් නොමැතිව 2006.06.01 දින ප්‍රාථමික අධිකරණ විනිසුරුවරයකු ලෙස පත්කර ඇතැයි ද අමාත්‍යවරයා ජනමාධ්‍ය හමුවේදී අනාවරණ කළේය.

ඉන් පසුව ඇය විසින් ඇගේ ජ්‍යෙෂ්ඨත්වය සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කර ඇති නමුත්, ඇයගේ ජ්‍යෙෂ්ඨත්වය 1998.07.04 දින පත්කරන ලද නිලධාරීන් හා සමව සකස්කළ නොහැකි බව කොමිෂන් සභාව තීරණය කර ඇති බවද අමාත්‍යවරයා පැවැසීය.

එබැවින් රනිල් වික්‍රමසිංහ පාස්කු ප්‍රහාරයේ විමර්ශන සඳහා පත්කළ කමිටුවේ සභාපතිත්වය ලබා දී ඇත්තේ විෂමාචාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ තැනැත්තියකට බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

42.31%
17.27%
32.76%