October 18, 2024

ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන කැරම් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඇතුළත් ශ්‍රී ලංකා ජාතික කැරම් කණ්ඩායම අද (18) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

2024 නොවැම්බර් 10 සිට 17 දක්වා අමෙරිකාවේ කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි පැවැත්වෙන හයවැනි කැරම් ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායම් කළමණාකරු සමඟින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙක් සහභාගි වෙති.

මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 5ක මුල්‍ය ආධාරයක් ලබාදෙන අතර එය සංකේතාත්මකව ප්‍රදානය කිරීම සඳහා එහි භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද ද සහභාගි විය.

කණ්ඩායමේ කළමනාකරු ලෙස රනිල් අබේසිංහ කටයුතු කරන අතර ක්‍රීඩකයෝ වන මොහොමඩ් ෂහීඩ්, අනාස් අහමඩ්, කවීන් නිම්නෙත් පීරිස්, දිනේෂ් නිශාන්ත ප්‍රනාන්දු, ජෝශප් රෝෂිත වඩුගේ සහ ක්‍රීඩිකාවෝ වන හිරුෂි මල්ෂානි පීරිස්, තරුෂි හිමහංසිකා වීරසේකර, තස්මිලා කවින්දි තරගාවලියට සහභාගී වෙති.

කණ්ඩායම සමඟ සමූහ ඡායාරූපයකට පෙනීසිටීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජයග්‍රහණයට සුබ පැතුම් එක්කළාය.

42.31%
17.27%
32.76%