October 18, 2024

ලංකා විදුලිබල මණ්ඩලයට විදුලිය නිපදවීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ ඉන්ධන සැපයීමේ ගිවිසුමකට එළඹීමට නව ආණ්ඩුව ගෙන ඇති පියවර හමුවේ, ඉහළ ආර්ථික විශ්ලේෂකයකු පෙන්වාදී ඇත්තේ, තරඟකාරී ලංසු ක්‍රියාවලියකින් තොරව එවැනි ගනුදෙනුවක් සිදුකිරීම දූෂණ සඳහා ඉඩ විවරවිය හැකි බවයි.

ප්‍රමුඛ පෙළේ චින්තන පර්ෂදයක් වන ඇඩ්වොකාට (Advocata) ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු පවසන්නේ, තරඟකාරී ලංසු තැබීමේ අවස්ථා නොමැති විට, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලංවිම සඳහා ඛනිජ තෙල් නිෂ්පාදන වැඩි මිලකට අලෙවි කළ හැකි අතර අවසානයේ එය ඉහළ විදුලි ගාස්තු අනුපාතවලට තුඩු දෙනු ඇති බවයි.

විදුලිය මිල ඉහළ යෑම හේතුවෙන් ජල ගාස්තු ඉහළ යෑම සහ හෝටල් කාමරවල සහ සමස්ත වටිනාකම් දාමයේ මිල ඉහළ යෑමට හේතු වනු ඇතැයි ඔහු පෙන්වාදෙයි.

දෙවනුව එය විදුලි මිල පහත දැමීමට දේශපාලන මැදිහත්වීමක් ඇති කරන බවද ඔහු පවසයි.

“එසේ නොමැති නම් දේශපාලනඥයන්ට තෙල් සංස්ථාවෙන් අඩු මිලට ඛනිජ තෙල් නිෂ්පාදන අලෙවි කරන ලෙස ඉල්ලා සිටිය හැකියි. එය දූෂණය ඇතුළු තෙල් සංස්ථාවට විශාල පාඩුවක් සිදුකරනන පුළුවන්. සාමාන්‍යයෙන් තෙල් සංස්ථාව පාඩු ලබන විට, ඔවුන් පාඩුව පියවා ගැනීමට ශ්‍රීලන්කන් ගුවන් සේවයට ගුවන්යානා ඉන්ධන වැඩි මිලට අලෙවි කරනව. එය ශ්‍රී ලන්කන් ගුවන් සේවය තවදුරටත් පාඩු ලැබීමට හේතුවෙනවා. තෙල් සංස්ථාව සහ ශ්‍රීලන්කන් පාඩු ලබන විට, ඒ ආයතන දෙකටම රාජ්‍ය බැංකු දෙකේ ඇපකර ණයක් ලබාදිය යුතු වෙනවා. සාමාන්‍යයෙන් භාණ්ඩාගාර ඇපකරයක් ඇති බැවින් එම ණය ගෙවන්නේ නැහැ. තරඟකාරී ලංසු තැබීම් නොමැති වූ විට, දූෂණයේ පිරිවැය තෙල් සංස්ථාවේ සහ ලංවිම ශේෂ පත්‍රවලට යම් කාලයක් තුළ එකතු වෙනවා” යැයි ඔහු ඩේලි මිරර් වෙත පවසා තිබේ.

ඔහු මේ අදහස් පළකර ඇත්තේ, විදුලිබල මණ්ඩලයට විදුලිය නිපදවීමට අවශ්‍ය ඉන්ධන ලබාගැනීම සඳහා තරඟකාරී ලංසු තැබීමට පසුගිය ආණ්ඩුව විසින් ආරම්භ කරන ලද පියවර නව ආණ්ඩුව අත්හැරීමට උත්සාහ කරන පසුබිමකය.

ලංවිම සහ තෙල් සංස්ථාව දැන් පවතින්නේ බලශක්ති අමාත්‍යාංශය යටතේය.

මීට පෙර ලංවිම ප්‍රකාශකයෙකු පැවසුවේ මේ දෙකම එකම අමාත්‍යාංශයට අයත් වන නිසා දැන් ගනුදෙනුවක් සිදුකිරීම පහසු බවයි.

42.31%
17.27%
32.76%