October 17, 2024

හිටපු සහකාර පොලිස් අධිකාරිවරයෙකු, උප පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් සැරයන්වරයෙකු, කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකුගේ බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු රහස් පොලිසියේ නීතිවිරෝධී වත්කම් හෝ දේපල විමර්ශන කොට්ඨාශයට ලබාදෙන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ බැංකුවලට නියෝග කළේය.

මෙම අධිකරණ නියෝගය ජාතික සංවර්ධන බැංකුව, මහජන බැංකුව, ලංකා බැංකුව, කොමර්ෂල් බැංකුව, සෙලාන් බැංකුව, සම්පත් බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, රාජ්‍ය උකස් බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඇතුළු බහුවිධ බැංකුවලට අදාළ වේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩි තැබීම සහ පාතාල කල්ලි නායක ඉරෝෂන් රණසිංහ හෙවත් එස්.එෆ්.ලොක්කා ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව නීතිවිරෝධී වත්කම් හෝ දේපළ විමර්ශන අංශයේ ස්ථානාධිපති සී.අයි.සම්පත් රාජකරුණා ඉදිරිපත් කළ කරුණු දැක්වීමකට අනුව අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදි හේවාවසම් මෙම නියෝගය නිකුත් කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා අධිකරණයට කියා සිටියේ මෙම සිද්ධීන් දෙකට පොලිස් නිලධාරීන් සහ සිවිල් වැසියන් කිහිපදෙනකු සම්බන්ධ බවට සැකකරන බවයි.

‘එස්.එෆ්.ලොක්කාගේ’ ඝාතනය කොන්ත්‍රාත්තුවක් මත සිදුකළ එකක් බවට විශ්වාස කරන බවත්, ඒ සඳහා පොලිස් නිලධාරීන් සහ තවත් පුද්ගලයකු මුදල් ලබාගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය.

විමර්ශනවලට සහාය වීම සඳහා සැකකරුවන්ගේ බැංකු ගිණුම් තොරතුරු ලබාගැනීමට එම නිලධාරියා අවසර ඉල්ලා සිටියේය.

මීට සම්බන්ධිත ලිපිගොනු සුරක්ෂිත කර සේප්පුවක ගබඩා කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට උපදෙස් දුන්නේය.

42.31%
17.27%
32.76%