October 17, 2024

වැලිවේරිය ප්‍රදේශයේ නිවසකට කඩාවැදී නිවැසියන්ට අමානුෂික ලෙස පහර දී සැමියා සහ සිව්හැවිරිදි දරුවා බැඳදමා ඔවුන් බලා සිටියදීම බිරිඳ දූෂණය කර දේපළ ද කොල්ලකාගෙන පළාගිය සපුගස්කන්ද ඔබවත්ත ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනා මල්වතුහිරිපිටිය පොලිසිය මගින් ඊයේ (16දා) අත්අඩංගුවට ගෙන ඇත.

සපුගස්කන්ද ඔබවත්ත ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයකු හා ඔහුගේ මවගේ අනියම් සැමියා විසින් මෙම අපරාධ සිදුකර ඇති බව පොලිසිය පවසයි.

මෙම අපරාධ සියල්ල එම සැකකාර තරුණයාගේ මවගේ අනුදැනුම මත සිදු වී ඇති අතර ඊට ආධාර අනුබලදීමේ චෝදනාව යටතේ ඇය ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම 21 හැවිරිදි පුත්‍රයා සහ මවගේ අනියම් සැමියා විසින් මේ ආකාරයට වැලිවේරිය, කිරිඳිවැල, ඇහැළියගොඩ ඇතුළු ප්‍රදේශ 8ක නිවාසවලට කඩාවැදී කාන්තාවන් දූෂණය කර දේපළ කොල්ලකා ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

මෙම අපරාධ මෙහෙයවන 47 හැවිරිදි පුද්ගලයා කරාතේ මාස්ටර්වරයෙකි.

මොවුන් කොල්ලකෑම් සඳහා යොදාගත් තියුණු ආයුධ, ලංචක්කු ඇතුළු තවත් ආයුධ කීපයක් පොලිසිය මගින් සොයාගෙන ඇත.

සැකකාර 21 හැවිරිදි තරුණයා සහ ඔහුගේ මවගේ අනියම් සැමියා වන 47 හැවිරිදි පුද්ගලයා වැලිවේරිය ප්‍රදේශයේ නිවසකට කඩාවැදී ඇත්තේ මීට දින කිහිපයකට උඩදීය.

මෙම නිවසේ හිමිකරු පෞද්ගලික ආයතනයක උසස් නිලධාරියකු වන අතර ඔහුගේ බිරිඳ තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවරියකි.

මොවුන්ගේ සිව්හැවිරිදි දරුවා ද ඒ මොහොතේ එම නිවසේ සිට ඇත.

නිවසට කඩාවැදුණු මෙම අපරාධකරුවන් දෙදෙනා නිවසේ සිටි සියලුදෙනාගේ ඇඳුම් කපා ඉවත්කර ඔවුන් නිරුවත් කර තිබේ.

පසුව සැමියා සහ දරුවාගේ දෑත් දෙපා බැඳදමා නිවසේ විදුලි පහන් ද දල්වා ඔවුන් බලා සිටියදීම බිරිඳ දූෂණය කර ඇත.

21 හැවිරිදි තරුණයා සහ ඔහුගේ මවගේ අනියම් සැමියා විසින් මාරුවෙන් මාරුවට එම කාන්තාව දූෂණය කර ඇති අතර ගෙහිමියාගේ ජංගම දුරකථනයෙන් සැකකරුවන් විසින් ඒ සියලු දර්ශන වීඩියෝගත කර තිබේ.

පසුව එම ජංගම දුරකථනය නිවසේ වැසිකිළියේ කොමඩ් එක තුළට දැමීමට මෙම සැකකරුවන් දෙදෙනා කටයුතු කර ඇත.

අලුයම 3.00 සිට අලුයම 5.00 පමණ වන තුරු පැය දෙකක් තිස්සේ මෙම සැකකරුවන් දෙදෙනා නිවසේ රැඳී සිටිමින් මෙම අපරාධය කර ඇති බව විමර්ශන වලින් හෙළි වී ඇත.(දිවයින)

42.31%
17.27%
32.76%