October 16, 2024

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව මෙතෙක් ප්‍රකාශයට පත් නොකළ වාර්තා දෙක රජය විසින් ප්‍රසිද්ධියට පත්කරන්නේ නම් පමණක් එය භාරදෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

අද ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේ වාර්තා ලැබුණු පසු ඒවා ප්‍රසිද්ධ කිරීමට රජය අපොහොසත් වුවහොත් කුමක් සිදුවේද යන්නයි.

“ජනාධිපතිවරයා හෝ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත් හේරත් එම වාර්තා ප්‍රසිද්ධියට පත්කරන තුරු මම ඒවා රජයට භාරදීමට සූදානම් නැහැ,” ඔහු පැවැසීය.

දින 7ක කාලයක් තුළ එම වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීමට රජය අපොහොසත් වුවහොත් ඒවා මහජනතාවට නිකුත් කිරීමට පියවර ගන්නා බවද උදය ගම්මන්පිල වැඩිදුරටත් අනතුරු ඇඟවීය.

මෙම සතිය මුලදී පැවති ජනමාධ්‍ය හමුවකදී සර්වජන බලයෙන් කොළඹ දිස්ත්‍රික්කයට ඉදිරිපත්වන හෙතෙම රජයෙන් ඉල්ලා සිටියේ ප්‍රහාර සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් නොකළ කමිටු වාර්තා දෙකක් නිකුත් කරන ලෙසයි.

සතියක් ඇතුළත රජය ඒවා නිදහස් නොකළහොත් අන්තර්ජාලයට මුදාහරින බවට ඔහු අනතුරු ඇඟවීය.

ගම්මන්පිල පවසන පරිදි පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ කොටසක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොතිබිණි.

ගම්මන්පිලට ප්‍රතිචාර දක්වමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් කියාසිටියේ මෙම වාර්තා දෙක ඉදිරි දින තුන ඇතුළත රජයට ලබාදෙන ලෙස අභියෝග කරණ බවයි.

42.31%
17.27%
32.76%