October 16, 2024

කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේදී පසුගිය සති කිහිපය තුළ රේගු භාරයට ගැණුනු රුපියල් කෝටි සියයකට අධික වටිනාකමින් යුත් නීතිවිරෝධී දුම්වැටි විශාල සංඛ්‍යාවක් කල්ඉකුත්වීමට ආසන්න බව වාර්තා වේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ රේගුව ඇතුළු විවිධ ආයතන විසින් කටුනායක ගුවන් තොටුපොළේදී පසුගිය සති අට තුළ සිදුකරන ලද වැටළීම් 20 කට අධික සංඛ්‍යාවකදී ඩුබායි සහ ඒ අවට මැදපෙරදිග රටවල සිට රැගෙන ආ සිගරට් තොග එලෙස කල් ඉකුත්වීමට ආසන්න බව සොයාගෙන ඇත.

කටුනායක ගුවන් තොටුපළේ ස්ථානගත කර ඇති ශ්‍රී ලංකා රේගුවේ මූලාශ්‍රයක් ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, මෙම විශාල දුම්වැටි තොගයෙන් බොහොමයක් කල්ඉකුත් වී හෝ මාස දෙකකට නොවැඩි දිනයන් සමඟ කල්ඉකුත් වීමට ආසන්න බවයි.

විශේෂයෙන්ම ජනාධිපතිවරණය අවසන් වූ පසු ඩුබායි, කටාර් හෝ අබුඩාබි යන රටවලින් පැමිණෙන ශ්‍රී ලාංකික සංචාරකයන් රුපියල් මිලියන ගණනින් වටිනා විදේශීය රටවල නිෂ්පාදිත දුම්වැටි විශාල ප්‍රමාණයක් රැගෙන එන්නේ ඇයිදැයි සැක මතුව තිබේ.

රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ ජ්‍යෙෂ්ඨ පරීක්ෂකවරයකු පවසා ඇත්තේ, ඩුබායි හි දුම්වැටි සඳහා ලබාදෙන තීරුබදු රහිත ඉතා ආකර්ෂණීය දීමනා හේතුවෙන් සංවිධානාත්මක ජාවාරම්කරුවන් මෙන්ම නිත්‍ය සංචාරකයන් ද එම දුම්වැටි ප්‍රමාණාත්මකව ශ්‍රී ලංකාවට ගෙන ඒමට පොළඹවන බවයි.

දුම්වැටි වැනි නිෂ්පාදන කල්ඉකුත්වීමට ආසන්න වන විට, විකුණුම්කරුවන් ඒවා විශේෂයෙන් තීරුබදු රහිත සාප්පු වලදී ‘එකක් මිල දී ගත හොත් එකක් නොමිලේ’ හෝ ‘දෙකක් මිල දී ගත හොත් එකක් නොමිලේ’ වැනි ඉතා ආකර්ෂණීය දීමනා ‍යටතේ අලෙවි කෙරේ.

”ආනයනික දුම්වැටි රට තුළට ගෙනඒම තහනම් වුවද, ඒ සඳහා ක්‍රියාත්මක දඩ මුදල ප්‍රමාණවත් ඉහළ අගයක නොමැති බැවින් සංචාරකයන් ඒවා රැගෙන ඒමට නැඹුරු වෙනවා ”යැයි එම නිලධාරියා සඳහන් කර ඇත.

ලංකා දුම්කොළ සමාගමට මෙරට දුම්කොළ සහ දුම්වැටි සන්නාමවල ඒකාධිකාරයක් ඇති අතර, විදේශීය නිෂ්පාදන සඳහා රට තුළ අවසර නොමැත.

ගුවන් තොටුපොළේ සහ දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලදී සොයාගන්නා නීතිවිරෝධී දුම්වැටි තොග ලංකා දුම්කොළ සමාගම සහ ශ්‍රී ලංකා රේගුව විසින් විටින් විට සාමූහිකව විනාශ කරනු ලබන්නේ, නීතිවිරෝධී දුම්වැටි හේතුවෙන් මෙරට දුම්වැටි බදු ආදායමට විශාල පාඩුවක් සිදුවන බැවිනි.

42.31%
17.27%
32.76%