October 16, 2024

විගමණික ශ්‍රමිකයන්ගේ නොවිසඳුණු ගැටලු විසඳීමට සහ ජාවාරම් මැඩළීමට විශේෂ වැඩපිළිවෙළක් හඳුන්වාදීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ කටයුතු කර ඇත.

‘සභාපතිවරයා සමඟ කතා කරන්න’ නමින් ප්‍රකාශයට පත්කරන ලද වැඩසටහන ඊයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේදී දියත් කෙරිණි.

විදේශ රැකියා සඳහා පිටත්ව යන විට විදේශගත ශ්‍රමිකයන් අනවශ්‍ය පීඩනයකට මුහුණදෙන අතර විවිධ තරාතිරම්වල නිලධාරීන් සහ තැරැව්කරුවන් මූල්‍ය ප්‍රතිලාභ සඳහා ඔවුන් සූරාකෑමට මැදිහත් වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා පෙන්වාදුන්නේය.

මෙම කටයුතු සම්පූර්ණයෙන් නැවැත්වීමට නව ආණ්ඩුව කටයුතු කරන බවට කෝෂල වික්‍රමසිංහ සහතික විය.

ඒ අනුව, විගමණික ශ්‍රමිකයන් මුහුණදෙන ගැටළු විසඳීම සඳහා ගෙන ඇති පහත ක්‍රියාමාර්ග ඔහු වැඩිදුරටත් පෙන්වාදුන්නේය.

ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ පළමු මහලේ ඇති විශේෂ කවුළුවක් හරහා සභාපතිවරයාට කතා කරන්න වැඩසටහන හඳුන්වා දී ඇත.

සියලු ආකාරයේ චෝදනා, විවේචන සහ දුක්ගැනවිලි මෙහි සටහන් කිරීමට හැකියාව තිබේ.

එහි පැමිණිලි පෙට්ටියක් ස්ථාපනය කර ඇති අතර, ලැබෙන පැමිණිලි සඳහා විසඳුම් ලබාදෙනු ඇත.

පැමිණිලිකරුගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට පියවර ගෙන තිබේ.

දුරකථන අංක 0112 864188, WhatsApp අංක 0717 593 593 හෝ talkchairman@slbfe.lk විද්‍යුත් තැපෑලෙන් පැමිණිලි යොමුකළ හැකිය.

“ඕනෑම පුරවැසියකුට තම පැමිණිල්ල ඉදිරිපත් කළ හැකියි. ඔවුන්ට විවිධ ආකාරවලින් පැමිණිලි ඉදිරිපත් කළ හැකියි. පිටස්තර පුද්ගලයන්ගෙන් හෝ රාජ්‍ය නිලධාරීන්ගෙන් සිදුවන අසාධාරණයක් වාර්තා කළ හැකියි. කුමන ආකාරයක අසාධාරණයක් සිදුවුවත්, විසඳුම් ලබාදීමට තරාතිරම නොබලා කටයුතු කරනවා,” යැයි සභාපතිවරයා සහතික විය.

42.31%
17.27%
32.76%