42.31%
17.27%
32.76%
October 15, 2024

ජනතා මුදල් අවභාවිත කර ඇති ඕනෑම අයකුගෙන් එම මුදල් නැවත අයකර ගැනීම මෙරට ජනතාවගේ බලාපොරොත්තුවක් බව ජාතික ජන බලවේගයේ අපේක්ෂිකා නිලන්ති කොට්ටහච්චි පවසයි.

උගන්ඩාවේ සහ රටේ වෙනත් තැන්වල සඟවා ඇති අයථා ධනය නැවත ලබා ගැනීමේ අවශ්‍යතාව ගැන සඳහන් කළේ එම අර්ථයෙන් බව ද ඇය පෙන්වා දෙයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ තමන් පැවසූ දේ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම තමන් භාර ගන්නා බවයි.

“මෑත කාලයේ මම කළ සමහර ප්‍රකාශ මට විරුද්ධව මඩ ගැසීමට හේතු වුණා. මට උගන්ඩා කුමාරි ,උගන්ඩා මැණිකේ වගේ නම් පවා පටබැඳුණා. ජනාධිපතිවරණයට පෙරාතුව, මගේ දේශනවලදී, නීතිය හා සාමය, යුක්තිය යථා තත්ත්වයට පත් කිරීමේ අවශ්‍යතාව සහ ජාතික ජන බලවේගයට සහ එහි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයාට කළ හැකි දේ පිළිබඳවයි මම අවධානය යොමු කළේ. ඒ සඳහා වූ අපගේ සැලැස්ම තුළ, වත්කම් ප්‍රතිසාධනය සඳහා ආයතනයක් පිහිටුවීමට අපි ප්‍රතිඥා දුන්නා. සංවර්ධිත ලෝකයේ එවැනි ආයතන පිහිටුවා තිබෙනවා. ඒවගෙන් සිදුකෙරෙන්නේ මහජන මුදල් අවභාවිත කර රටින් පිට ආයෝජනය කර වෙනත් තැන්වල තැන්පත් කර ඇති මුදල් අයකර ගැනීමයි. මේ මුළු කතාවේම කොටසක් ලෙස උගන්ඩාවේ තැන්පත් කර ඇති මුදල් ආපසු ගෙන ඒමේ අවශ්‍යතාවක් නැද්ද කියලා මම ඇහුවා. මා ඒ ප්‍රකාශය කරන විට ආරක්ෂක මුද්‍රණ කටයුතුවල නිරත De La Rue සමාගම උගන්ඩාවට යැවීමට මුදල් නෝට්ටු තොගයක් මුද්‍රණය කර ඇති බව මම හොඳින්ම දැන සිටියා. එය එකල සමාජයේ කතා බහට ලක් වුනු මාතෘකාවක්. එය ඇණවුමකට අනුව මුද්‍රණය කරන ලද මුදල් නෝට්ටු බව මට දන සිටියා. එහෙත් පසුගිය රජය උගන්ඩාව ඇතුළු ලෝකයේ වෙනත් රටවල ආයෝජනය කර ඇති බව අපි දන්නවා. එවැනි සොරකම් කරන ලද මුදල් ආපසු අයකර ගැනීම සඳහා නීති සම්පාදනය කිරීමට අප අදහස් කරන්නේ අපේ රජය පවතින කාලය තුළයි. ජාතික ජන බලවේගයේ රජය හෝ ඕනෑම රජයක් වේවා, මහජන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් කටයුතු කිරීම නීත්‍යනුකූල යුතුකමකි. මම කියපු දේට සම්පූර්ණ වගකීම මම බාර ගන්නවා. එය උගන්ඩාවේ හෝ ඕනෑම තැනක වේවා, අදාළ නඩු සම්බන්ධයෙන් කටයුතු කිරීමේ වගකීම අපි භාර ගන්නවා, ” යනුවෙන් ඇය පැවසුවාය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ චෝදනාව සම්බන්ධයෙන් කළ විමසීමකදී ඇය කියා සිටියේ තමා පැවසූ දෙයට අභියෝග කිරීමට රාජපක්ෂට සෑම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තිබෙන බවයි.

“සුදුසු අවස්ථාවක සුදුසු ආකාරයෙන් එයට ප්‍රතිචාර දැක්වීමට අපි සූදානම්,” යනුවෙන් ද ඇය පැවසුවාය.

 

42.31%
17.27%
32.76%