42.31%
17.27%
32.76%
October 15, 2024

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති පළමු පන්දුවාර T20 තරගය සඳහා පැමිණි ක්‍රීඩකයන් සහ දේශීය තරග නිලධාරීන් ප්‍රමිතියෙන් තොර හෝටල්වල රැඳවූ බවට පළ වූ දේශීය මාධ්‍ය වාර්තාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා ඊයේ (14) තරයේ ප්‍රතික්ෂේප කළේය.

සත්කාරක ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පළමු T20 තරගය ඉරිදා (13) රංගිරි දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති අතර කොදෙව්වන් එය කඩුලු 5කින් ජය ගනිමින් තරග තුනකින් සමන්විත තරගාවලිය 1-0ක් ලෙසින් ඉදිරියට පැමිණියේය.

දෙවැනි T20 තරගය අද (15) එම පිටියේදීම ආරම්භ වීමට නියමිතය.

වසරේ මේ කාලයේදී උතුරු මැද පළාතේ හෝටල් වෙන්කරවා ගැනීම් ඉහළයෑම හේතුවෙන් කණ්ඩායම් දෙකට දඹුල්ලේ තරු පහේ එකිනෙකට වෙනස් හෝටල් දෙකක නවාතැන් ගැන්වීමට සිදු වූ බව ද සිල්වා පැවසීය.

“නැත්නම් අපි කණ්ඩායම් දෙකටම එකම හෝටලයක නවතින්න දෙන්න, එය තමයි ක්‍රියාපටිපාටිය. කොහොම වුණත් මේ දක්වා බටහිර ඉන්දීය කොදෙව්වන් ඔවුන්ට නවාතැන් දුන් හෝටලයේ ප්‍රමාණවත් හෝටල් පහසුකම් නොමැති බවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බවක් මම දන්නේ නැහැ, එහෙම කිසියම් ගැටලුවක් තිබේ නම් ඒ පිළිබඳ කඩිනමින් සොයා බලනවා” යනුවෙන් ඔහු පවසා තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් සහ තරග නිලධාරීන් රැදී සිටි හෝටලය තුළ ප්‍රමාණවත් අන්තර්ජාල පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම් ලබා නොදීම සම්බන්ධයෙන් ICC තරග තීරක රංජන් මඩුගල්ල හෝටල් කළමනාකාරීත්වය දැඩි ලෙස විවේචනය කළ බවට චෝදනා එල්ල වී තිබිණි.

මෙවැනි ක්‍රියා මගින් ලොව ආගන්තුක සත්කාරයට ලැදි ගමනාන්තයක් ලෙස රටේ ප්‍රතිරූපයට හානි විය හැකි බවට ශ්‍රී ලංකා හිටපු නායකයා හෝටල් කළමනාකාරීත්වයේ අවධානය යොමු කර ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් තරග තීරක රංජන් මඩුගල්ල ඇතුළු තරග නිලධාරීන් රැදී සිටි හෝටලයේ මුලින් අන්තර්ජාලය අක්‍රිය වී තිබී ඇති බව ද සිල්වා පිළිගෙන තිබිණි.

එහෙත්, එම අඩුපාඩුව අදාළ හෝටල් කළමනාකාරීත්වයට දන්වා වහාම එම විෂමතාව නිවැරදි කර ගැනීමට හැකි වූ බව ප්‍රධාන විධායක නිලධාරීවරයා අවධාරණය කළේය.

පසුගිය පෙබරවාරි මාසයේදී T20 තරඟාවලියක් සඳහා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මෙරට කළ සංචාරය අතරතුරදී අදාළ හෝටලය ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා පිරිනමන ලද පහසුකම් සම්බන්ධයෙන් අඩුපාඩුවක් දක්නට ලැබුණු බව සඳහන් කර තිබිණි.

කෙසේවෙතත්, ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් එල්ල වූ පැමිණිලි මත එම අඩුපාඩු සම්පූර්ණ කර ඇති බව තතුදත් ආරංචි මාර්ග අනාවරණ කළේය.

හිටපු නායක ඩැරන් සැමී විසින් පුහුණු කරන ලද බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මේ වන විට 2019 වසරෙන් පසු සීමිත පන්දුවාර තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම සංචාරය සිදු කරයි.

ශ්‍රී ලංකාව ඔවුන්ගේ ඉතිහාසයේ කිසි දිනෙක ද්විපාර්ශ්වික අන්තර්ජාතික T20 තරඟාවලියකදී පරාජය වී නොමැති අතර පසුගිය ඉරිදා වූ පසුබෑමත් සමග බ්‍රහස්පතින්දා (17) පැවැත්වීමට නියමිත අවසන් තරඟාවලිය ඇතුළුව ඉතිරි තරඟ දෙකම ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වනු ඇත.

 

42.31%
17.27%
32.76%