October 14, 2024

ඉදිරි මහ මැතිවරණය සඳහා වූ නාමයෝජනා ලැයිස්තුවෙන් රංගන ශිල්පිනී දමිතා අබේරත්න ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇය පසුගියදා කළ ප්‍රකාශයට සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් කණ්ඩායම් නායක හේෂා විතානගේ ප්‍රතිචාර දක්වා තිබේ.

දමිතා අබේරත්න ප්‍රකාශ කර තිබුණේ හේෂා මුලින් සහයෝගය පළ කළද පසුව එම තීරණයට පටහැනිව ඔහු කටයුතු කළ බවයි.

ජනමාධ්‍යවේදීන් අමතමින් හේෂා විතානගේ කියා සිටියේ රට නියෝජනය කිරීමට අවස්ථාව ලැබෙන සිය පක්ෂයේ ඕනෑම කෙනෙකුට සුබ පැතුම් පිරිනැමීම තම වගකීමක් බවයි.

“මම හැමෝටම සුභ පතනවා. සුබ පැතීම එකක් – දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීම තව එකක්. මගේ තීරණ රත්නපුරයේ ජනතාවගේ අවශ්‍යතා සහ අභිලාෂයන් මතයි පදනම් වෙන්නේ” යනුවෙන් ඔහු අවධාරණය කරයි.

තමාට වැදගත් වන්නේ පෞද්ගලික ස්ථාවරය නොව රත්නපුර ජනතාවගේ සුබ සිද්ධිය බව ද ඔහු සඳහන් කරයි.

දමිතා අබේරත්න ඉවත් කිරීමට ගත් තීරණය පිළිබඳ ප්‍රශ්න කළ විට එය ඒකපාර්ශ්වික තේරීමක් නොවන බව ඔහු තහවුරු කළේය.

“නෑ. මේක ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයක්. අපේ පක්‍ෂයේ අපි හැම වෙලාවෙම එකතු වෙලා තීන්දු තීරණ ගන්නවා” යනුවෙන් ඔහු පැහැදිලි කළේය.

“ඒ තීරණ ක්‍රියාත්මක කරන අතරේ ජනතා ජයග්‍රහණ වෙනුවෙන් තනි පුද්ගල තීරණ ගත යුතු අවස්ථා තිබේ නම්, ඒවා ද ගැනීමේ වරදක් නැත.” යනුවෙන් ඔහු සඳහන් කළේය.

42.31%
17.27%
32.76%