October 13, 2024

ශ්‍රී ලංකාවේ ගෘහස්ථ සෞඛ්‍ය සේවා පිරිවැය 2020 වසරේ සිට 2021 වසර දක්වා වසරක් ඇතුළත සියයට 48කින් ඉහළ ගොස් ඇති අතර ප්‍රාථමික සෞඛ්‍ය සේවා සඳහා වන ප්‍රවේශය 2019 වසරේ දී සියයට 95 සිට 2022/2023 දී සියයට 82 දක්වා පහත වැටී ඇති බව ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය පවසයි.

ඔක්තෝබර් 08 අඟහරුවාදා පැවති උත්සවයකදී අදහස් දක්වමින් ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ ආර්ථික විද්‍යාඥ සුනිමලී මදුරාවල කියා සිටියේ, අවම වියදමකින් විශිෂ්ට සෞඛ්‍ය ප්‍රතිඵල අත්කර ගැනීම ගැන වරක් ශ්‍රී ලංකාව ආඩම්බර වූවත්, මෑතකාලීන අර්බුද මෙම අංශයේ සැළකිව යුතු දුර්වලතා හෙළිදරව් කර ඇති බවයි.

2020 සිට 2021 දක්වා වසරක් ඇතුළත ගෘහස්ථ සෞඛ්‍ය සේවා පිරිවැය 48% ඉහළ ගොස් ඇති බව සඳහන් කරමින් මදුරාවල පැවසුවේ ශ්‍රී ලංකාව සිය සමස්ත රාජ්‍ය වියදම්වලින් සෞඛ්‍ය සේවා සඳහා වෙන් කරන්නේ 8-9% ක් පමණක් වන අතර එය ගෝලීය සාමාන්‍යයට වඩා බෙහෙවින් අඩු බවයි.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය ද 2019 දී සියයට 95 සිට 2022/2023 දී ජාතික මට්ටමින් 82% දක්වා පහත වැටී ඇත.

එමගින් ග්‍රාමීය ප්‍රදේශවලට දැඩි ලෙස පහර වැදී ඇති අතර, ඉහළ යන සෞඛ්‍ය සේවා පිරිවැය ධනවත් හා දුප්පත් යන දෙපාර්ශ්වයටම පීඩාවට පත් කරන බව ඇය පැවසුවාය.

මෙම අභියෝගවලට එරෙහිව සටන් කිරීම සඳහා, ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් නිර්දේශ කරන්නේ සමාජ සෞඛ්‍ය රක්ෂණය පුළුල් කිරීම, සාක්කුවෙන් පිටත සෞඛ්‍ය සේවා වියදම් අඩු කිරීම සහ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය ප්‍රවර්ධනය කිරීමයි.

දිගුකාලීන සෞඛ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නංවා ඇති තායිලන්තය සහ ඉන්දුනීසියාව වැනි රටවල පාඩම් ශ්‍රී ලංකාවට මාර්ග සිතියමක් සැපයිය හැකි බව ද එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි සංවිධානවල සහාය ඇතිව පදනම සකස් කර තිබුණ ද මෙම ප්‍රතිසංස්කරණ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා වෛද්‍ය නිලධාරීන් පුහුණු කිරීමේ හිඩැස් තවමත් පවතින බව ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය පවසයි.

 

42.31%
17.27%
32.76%