October 13, 2024

පසුගියදා පැවති ජනාධිපතිවරණයට අදාළ වියදම් වාර්තා පසුගිය සිකුරාදා (11) වනවිට ඉදිරිපත් කර තිබුණේ අපේක්ෂකයන් 38 දෙනාගෙන් 13 දෙනෙකු පමණක් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.

එම අපේක්ෂකයන් වන්නේ පේමසිරි මානගේ, මහින්ද දේවගේ, කේ.ඒ. කුලරත්න, විජයදාස රාජපක්ෂ, සිරිතුංග ජයසූරිය, ප්‍රියන්ත වික්‍රමසිංහ, සරත් ෆොන්සේකා, පානි විජේසිරිවර්ධන, අබුබකර් මොහොමඩ් ඉන්ෆාස්, ඇන්ටනි වික්ටර් පෙරේරා, සරත් බණ්ඩාරනායක, ජනක රත්නායක, සහ කේ.පියදාසය.

අවසානයේ නම් සඳහන් පස් දෙනා අපේක්ෂකයන් සිය වියදම් වාර්තා ඉදිරිපත් කර තිබුණද පක්ෂ විසින් හෝ ඔවුන් නම් කළ අය විසින් තවමත් මැතිවරණ කොමිසමට අදාළ වාර්තා ඉදිරිපත් කර නොමැත.

මේ අතර, පාර්ලිමේන්තු මැතිවරණයට පෙර මෙම වාර්තා ඉදිරිපත් කිරීමට අපේක්ෂකයන් 25 දෙනෙකු තවමත් සිටී.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක පවසන්නේ අදාළ අපේක්ෂකයන් එම වාර්තා ඉදිරිපත් නොකළහොත් ඒ සම්බන්ධයෙන් පොලිසියට සහ අල්ලස් කොමිසමට දැනුම් දීමට කටයුතු කරන බවයි.

නීතිපති උපදෙස් මත පොලිසිය නඩු දමනු ඇති බවත් ඊට අදාළ දඬුවම් මොනවාද යන්න පිළිබඳ විස්තර පනතේ අඩංගු වන බවත් ඔහු සඳහන් කරයි.

අපේක්ෂකයන් විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවල නිරවද්‍යතාව මහජනතාවට, මැතිවරණ නිරීක්ෂකයන්ට සහ දේශපාලන පක්ෂවලට පරීක්ෂා කර තහවුරු කළ හැකි බව ද මැතිවරණ කොමිසම පවසයි.

ලැබෙන වාර්තා දින 10ක් ඇතුළත විවෘතව ප්‍රදර්ශනය කරන අතර ඕනෑම කෙනෙකුට ඊට ප්‍රවේශ විය හැකි බව මැතිවරණ කොමිසම පවසයි.

මේ අතර එම වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට මැතිවරණ කොමිසම දී තිබෙන කාල සීමාව අද(13) ප.ව. 3න් අවසන් වේ.

මෙම කාලසීමාව තුළ අදාළ වාර්තා ඉදිරිපත් නොකිරීම 1981 ජනාධිපති මැතිවරණ පනත යටතේ රුපියල් 100,000ක දඩයක් සමඟ දඬුවම් ලැබිය හැකි වරදකි.

මෙම වාර්තා මගින් සියලුම පරිත්‍යාග, ණය, අත්තිකාරම්, තැන්පතු සහ දායකයන්ගේ අනන්‍යතා පිළිබඳ සවිස්තරාත්මක ගිණුම් සැපයිය යුතුය.

අපේක්ෂකයන් විසින් වියදම් සනාථ කෙරෙන ඉන්වොයිසයන් ඔවුන්ගේ වියදම් පිළිබඳ වාර්තාවට ඇතුළත් කිරීමට අවශ්‍ය වේ.

 

 

 

42.31%
17.27%
32.76%