42.31%
17.27%
32.76%
October 11, 2024

“ඇමැති නිල නිවාස ආපසු ලබාදීම දේශපාලන පළිගැනීමක් ලෙස සළකන්න එපා. අමාත්‍ය ධුරයක් අහෝසි වූ වහාම අමාත්‍ය නිල නිවාසය ආපසු ලබාදිය යුතුයි. ප්‍රමාදයකින් තොරව නිල නිවාස ආපසු ලබාදිය යුතුයි.” තවමත් නිලනිවාසවලින් ඉවත් වී නොමැති පුද්ගලයන්ට සිහිකැඳවීම් යොමුකළ යුතු බවත්, ඊට ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

අග්‍රාමාත්‍යවරිය මේ අදහස් පළ කළේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ඉදිරි සැලසුම් සහ මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකදීය.

එපමණක් නොව, රට තුළ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාවය සහ එම ව්‍යාපෘතිවලින් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ සහතික කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන් වගකිව යුතු බව ඇය පැවසුවාය.

“දේශීය හා විදේශීය මූල්‍ය ප්‍රතිපාදන මත සිදුකරන සියලුම සංවර්ධන ව්‍යාපෘතිවලදී රාජ්‍ය නිලධාරීන්ගේ විශේෂඥ දැනුම උපයෝගී කරගනිමින් ඔබ අදාළ පාර්ශ්ව සමඟ සාධනීය සංවාදයක් ගොඩනැගිය යුතුයි. රජය ලෙස අපි අවශ්‍ය මගපෙන්වීම් ලබාදෙනවා. ඒ නිසා අදාළ පාර්ශ්ව සමඟ නිරන්තර සාකච්ඡා පැවැත්වීමට වගබලා ගන්න. රජයට හිතකර කොන්දේසි යටතේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ වගකීම රජයේ නිලධාරීන්ට තිබෙනවා. මෙම ව්‍යාපෘති බොහොමයක් ණය මගින් සිදුකරන්නේ. ඒවා ආපසු ගෙවීමේ බර මේ රටේ ජනතාව දරනවා,” ඇය පැවසුවාය.

එබැවින් මෙම ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර ඒවා මහජන හිතකාමී ප්‍රවේශයකින් රටට සුදුසු දැයි තීරණය කළ යුතු යැයි ඇය උපදෙස් දුන්නාය.

42.31%
17.27%
32.76%