42.31%
17.27%
32.76%
October 4, 2024

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයන්ට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 16ක් සහ ජීවිත රක්ෂණ ඔප්පු 03ක් අත්හිටුවීම කොළඹ මහාධිකරණය විසින් දීර්ඝ කර තිබේ.

අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීමකට අනුව අධිකරණය විසින් එම අත්හිටුවීම 2025 ජනවාරි 04 දක්වා දීර්ඝ කරන ලදී.

රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයන්ගේ ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජීවිත රක්‍ෂණ රාජසන්තක කිරීමට මෙම වසරේ ජූලි මාසයේදී අල්ලස් කොමිසම කටයුතු කර තිබිණි.

නිවේදනයක් නිකුත් කරමින් අල්ලස් කොමිසම සඳහන් කළේ රුපියල් මිලියන 93.125ක ස්ථාවර තැන්පතු ගිණුම් හිටපු ඇමැතිවරයාගේ බිරිඳ, දියණියන් තිදෙනෙකු සහ එක් බෑනා කෙනෙකුට අයත් බවයි.

සැක කටයුතු ගනුදෙනු සම්බන්ධයෙන් දින හතකට ගිණුම් අත්හිටුවීමට අල්ලස් කොමිසම ජුනි මාසයේදී නියෝගයක් නිකුත් කළේය.

හිටපු සෞඛ්‍ය ඇමැතිවරයාගේ පුත් රමිත් රඹුක්වැල්ල විසින් මිලදී ගත් කොල්ලුපිටියේ සුඛෝපභෝගී මහල් නිවාස දෙකක් පරිහරණය කිරීම වළක්වාලමින් ඉන් නොබෝ දිනකින්ම සැප්තැම්බර් මාසයේදී කොළඹ මහාධිකරණය ද නියෝගයක් නිකුත් කළේය.

කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි ඉහත කී සුපිරි මහල් නිවාස දෙක රමිත් රඹුක්වැල්ල විසින් රුපියල් මිලියන 80කට සහ රුපියල් මිලියන 65කට මිලදී ගෙන ඇති බව වාර්තා වේ.

බාල ප්‍රතිශක්තිකරණ ඉමියුග්ලෝබියුලින් එන්නත් ආනයනය කිරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාරගතව සිටින අවස්ථාවක මෙම පියවර ආරම්භ කර තිබිණි.

කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ එම ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීමෙන් රුපියල් මිලියන130ක මූල්‍ය වංචාවක් සිදුව ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

කෙසේවෙතත්, සැප්තැම්බර් මාසයේදී මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මාස හතකට ආසන්න සිරදඬුවමකින් පසුව හිටපු සෞඛ්‍ය ඇමැතිවරයාට ඇප ලබා දුන්නේය.

 

42.31%
17.27%
32.76%