42.31%
17.27%
32.76%
October 4, 2024

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියකගේ රියැදුරකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මීගමුව පොලිසියේ නිලධාරීන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේ දී එම රියැදුරාගෙන් කොන්දේසි විරහිතව සමාව ගෙන තිබේ.

සිද්ධියට මුහුණදුන් රියැදුරු ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ (3) සමථයට පත්කරමින් මීගමුව පොලිසියේ නිලධාරීන් පිරිස එම රියැදුරාගෙන් මෙලෙස කොන්දේසි විරහිතව සමාව ගැනීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගය අවසන් කළේය.

නීතිඥවරියකගේ රියදුරකු වශයෙන් කටයුතු කළ කළුතර පදිංචි සෙල්වරාච් රාජපාන්ඩි නමැත්තාගෙන් මෙලෙස සමාව ගනු ලැබුවේ මීගමුව පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරයන්වරුන් වන දිසානායක සහ ප්‍රේමරත්න, කොස්තාපල්වරුන් වන රත්නසිරි, සේනාධිර සහ නානායක්කාර යන පිරිසය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සළකා බැලිණි.

සෙල්වරාච් රාජපාන්ඩි නමැත්තා ගොනුකර තිබූ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් වැඩබලන පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, මීගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රදීප් වීරසිංහ සහ මේ සිද්ධියට සම්බන්ධ මීගමුව පොලිසියේ නිලධාරීන් නම් කර තිබිණි.

නීතිඥවරියකගේ රියදුරකු වශයෙන් සේවය කරන පෙත්සම්කාර සෙල්වරාච් රාජපාන්ඩි නමැත්තා පසුගිය ජනවාරි 16 වැනිදා මෝටර් රථයෙන් මීගමුව දිසා අධිකරණයට ගොස් ආපසු පැමිණෙන අවස්ථාවේ දී යතුරුපැදි කිහිපයක් පැමිණ මෝටර් රථයට ඉදිරියෙන් පාර හරස් කර නැවැත්වූ බව සඳහන් කරන පෙත්සම්කරු එලෙස මඟ හරස් කර නැවැත්වූ සිවිල් ඇඳුමෙන් සැරසුණු පිරිස ‘අපි පොලිසියෙන්’ යැයි කියා තමා පරීක්ෂා කර තමාගේ දෑතට මාංචු දැමූ බවද සඳහන් කර ඇත.

ටික වේලාවක් තමා පරීක්ෂා කළ ඔවුන් තමාගේ ශරීරයේ පච්චයක් නැතැයි කී බවත් පසුව ඔවුන් ‘අපිට වැරදීමක්, ඒ පුද්ගලයා නෙවෙයි’ කියා ඔවුන් යළි යතුරුපැදිවල නැගී පිටත් වූ බවත් පසුව කළ සොයා බැලීම්වලදී ඔවුන් මීගමුව පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරීන් බව දැනගන්නට ලැබුණු බවත් සඳහන් කරන පෙත්සම්කරු ඔවුන්ගේ මෙම ක්‍රියාවෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට තීන්දුවක් දෙන්නැයි ඉල්ලා තිබිණි.

පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ චමත්කා වීරකෝන් උනම්බුව පෙනී සිටි අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මහේශිකා ද සිල්වා පෙනී සිටියාය.

42.31%
17.27%
32.76%